HISTORY OF THE LIBRARY
සම්බුද්ධ ශාසනයට හා මාතෘභූමියට වැඩදායී ආදර්ශ සම්පන්න සඟ පරපුරක් බිහි කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ක්‍රි:ව 1873 දී බෝධිසත්වගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගලාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් විද්‍යොදය පිරිවෙණ ආරම්භ කෙරෙණි. ඊට සමගාමීව විද්‍යොදය පුස්තකාලය ආරම්භ වී ඇති අතර එදා සිට පිරිවෙන් භූමියේ නොයෙක් ස්ථානයන් හී පුස්තකාලය ස්ථාපිතව පැවත ඇත. පසුව 1962 වසරේ ක්‍රමාණුකූලව පරිග්‍රහණ ලේඛනයකට පොත් ඇතුළත් කරමින් පුස්තකාලය සංවර්ධනය කිරීම හා තනතුරු හිමිව තිබූ අයුරු මෙලෙස සටහන් වී ඇත. “එකල විද්‍යොදය පරිවෙණාධීශ්වර කළුකොඳයාවේ සිරි පඤ්ඤාසේඛරාභිධාන මහනායක හිමිපානන් වහන්සේගේ අනුග්‍රහය ඇතිව විද්‍යොදය පිරිවෙණේ ආචාර්‍ය දොරටියාවේ නන්දසාර ස්ථවිරයන් වහන්සේ විසින් විද්‍යොදය පාරිවේණික ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා 1962.10.11 දින මෙම පුස්තකාලය ආරම්භ කරන ලදී. එකල ප්‍රධාන පුස්තකාලයාධිකාරී දොරටියාවේ නන්දසාර හිමි වූ අතර සහය පුස්තකාලයාධිකාරී කහහේනේ චන්දානන්ද හිමි විය. “

නව ගොඩනැගිල්ල ඉදි කිරීමත් සමග පිරිවෙණ් කමිටු ශාලාවේ ස්ථාපිත ව පැවති පුස්තකාලය, 2014 වර්ෂයේ වර්තමානයේ පුස්තකාලය පවතින නව ගොඩනැගිල්ලේ දෙවන මාලයට ගෙන එන ලදි. වර්තමානය වන විට සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉංග්‍රිසි ආදී භාෂා සාහිත්‍යයන්ගෙන් ද ඉතිහාසය, ආයුර්වේදය, භුගෝල විද්‍යාව, තාක්ෂණය යනාදී විෂය ක්ෂේත්‍රයන්ගෙන් ද සමන්විත පොත් 20000 ට අධික එකතුවකින් සහ පුස්කොළ පොත් 280 කට වැඩි ප්‍රමාණයකින් පුස්තකාල එකතුව පෝෂණය වී තිබේ.
