FORMER PRINCIPALS of vidyodaya pirivena


අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි (ව්‍ය.ව. 1873 – 1911)
ජොහානිස් අබේවීරගුණවර්ධන රාලහාමි සහ දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ යන දෙපළට දාව වර්‍ෂ 1827 ජනවාරි 20 දින දකුණු ලක හික්කඩුව හෙට්ටිගොඩ ග්‍රාමයේ දී උපත ලද කුමරු නමින් නිකුලස් අබේවීර ලියනාරච්චි ගුණවර්ධන විය. උපතින් දවස් ගෙවී යද්දී අක්ෂර අභ්‍යාසය සඳහා 1832 දී හික්කඩුවේ සෝභිත මාහිමියන්ට බාරකළේය. මෙලෙසින් වයස අවුරුදු 12ක් පමණ වනවිට පැවිදි කරවීම සඳහා අරුග්ගමුවේ රේවත නාහිමියන්ට භාරකරන ලදුව 1840 වර්‍ෂයේ නොවැම්බර් මස දිනක තොටගමු රත්පත් රාජමහා විහාරස්ථ බද්ධ සීමා මාලකයේ දී සසුන්ගත කරන ලදී. නිකුලස් යන නමින් හැඳින්වූ කුලකුමරුවා එතැන් සිට හික්කඩුවේ සුමඞ්ගල යන නාමයෙන් ප්‍රකට විය.
මූලික පැවිදි අධ්‍යාපනය පූජ්‍ය පන්නම්ගොඩ ජේතුත්තර මාහිමියන්ගෙන් ලද සුමඞ්ගල සාමණේරයෝ වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා 1844 දී රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති සාර්වභෞම වලානේ සිද්ධත්ථ මාහිමියන් වෙත යොමුකරන ලදුව 1848 තෙක් හොඳින් එහි දී ඉගෙනීම කළේය. මේ වනවිට විසිවයස් සම්පූර්ණ ව උපසම්පදාර්හව සිටි සුමඞ්ගල සාමණේරයෝ 1848 දී මල්වතු විහාරයේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පත්තිය ලදහ. එහිදී, උපසම්පදා අෂ්ටකයක් මල්වතු කාරක මහාසංඝසභාව වෙත ඔප්පු කොට එම සංඝසභාවේ ප්‍රසාදය දිනාගැනීමට සුමඞ්ගල සාමණේරයෝ සමත්වූහ. එහිදී මුන්වහන්සේට උපාධ්‍යායන් වහන්සේ වූ සේක් අතිපූජ්‍ය ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිත සුමඞ්ගල මාහිමිපාණන් වහන්සේ ය. උපසම්පදාවෙන් පසු ස්වකීය ගම් පියසට වැඩම කළ සුමඞ්ගල හිමිපාණෝ වසර දහයක පමණ කාලයක් දකුණු ලක ගාලු නගරය කේන්ද්‍ර කරගනිමින්, විවිධ පතපොත රචනා කරමින් කටයුතු කරන්නට විය. ලංකාලෝක පුවත්පතට ලිපි සපයමින් ද, සුදර්‍ශනය, බෞද්ධ වාග්සාරය, ලබ්ධිතුලාව, ආගම පරික්ෂාව වැනි කුඩා පොත්පත් කිහිපයක් ද උන්වහන්සේ අතින් රචනා විය.
වර්‍ෂ 1867 දී ශ්‍රී පාදස්ථානාධිපති ධුරයට පත් සුමඞ්ගල හිමිපාණෝ එම වර්‍ෂයේ දී ම පැල්මඩුල්ල ත්‍රිපිටක සංගායනාවට සහභාගී වී එහි දී නොමැකෙන සේවාවක් ඉටුකළහ. වර්‍ෂ 1869 දී රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණේ ප්‍රධානාචාර්‍ය්‍ය ධුරයට පත් සුමඞ්ගල හිමිපාණෝ එම ධුරයේ හා ශ්‍රී පාදස්ථානයේ කටයුතු ද මැනවින් පවත්වාගෙන ගියහ.
වර්‍ෂ 1870 දී කොටහේන පරමානන්ද විහාරස්ථානයට වැඩම කළ සුමඞ්ගල හිමිපාණෝ අගනුවර කේන්ද්‍ර කරගනිමින් ස්වකීය ධර්‍මශාස්ත්‍රීය මෙහෙවර දියත් කරන්නට වූහ. උන්වහන්සේ ඒ සඳහා විද්‍යස්ථානයක් ආරම්භ කිරීමට කල්පනා කළේය. ඒ අනුව වර්‍ෂ 1873 දෙසැම්බර් මස කොළඹ මාලිගාකන්දේ ෆාම් හවුස්හි දී විද්‍යොදය විද්‍යාලය නමින් කටයුතු ආරම්භ කරන ලදී. මාලිගාකන්දේ බුද්ධාගමේ පාඨශාලාව මැයෙන් 1873 සැප්තැම්බර් මස 27 වැනිදා ලක්රිවිකිරණ පුවත්පතෙහි මෙසේ සඳහන් කොට ඇත.
“කොළඹ මාළිගාකන්ද නම් ස්ථානයෙහි බුද්ධාගම්කාරයන් විසින් පිරිවෙනක් තබා එහි දැනට ශ්‍රීපාදස්ථානේ නායක ස්වාමීන් ප්‍රධානව ඉගැන්වීම් කෙරී ගෙණ යන බව අපට දැනගන්නට ලැබී තිබෙයි. මෙහි සෙනසුරාදා ඇර ඉතිරි සෑම දවස්වලම ඉගැන්වීම් කෙරෙණ බව අප වෙත එවා තිබෙන ලේඛනයකින් පෙනේ. උගන්වන ශාස්ත්‍ර නම් භෛෂජ්‍ය කල්ප ආදිය සහ සංස්කෘත වරනැගිලි, සංස්කෘතගණිත, ලීලාවතී, දම්පියා අටුවාදි පාලි පොත්, සිදත් සඟරා, ගුත්තිලාදිය, බාලාවතාරාදි ව්‍යාකරණ සහ මුග්ධබෝධාදි ව්‍යාකරණ පාලි ධාතු පෙන්නා විග්‍රහකරවීම සහ විනය යන මේවා සහ ඉගෙන ගන්නට ඕනෑ නම් ස්වභාෂාලංකාර, ඡන්දස්, අභිධර්ම යනාදියත් උගන්වන බව කියා තිබේ.”
එලෙස සඳහන් කරන ලද්දේ විද්‍යොදය පිරිවෙණ පිහිටුවීම හා එහි ඉගැන්වීම් සම්බන්ධවයි. එතැන් සිට සිය ගණනක් ඡාත්‍ර සමූහයා එම පිරිවෙනින් සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි භාෂා ශාස්ත්‍ර හදාළහ.
ධර්‍මශාස්ත්‍රෝන්නතියෙහි ලා හික්කඩුවේ සුමඞ්ගල නාහිමියන්ගෙන් සිදුවූ සේවය එතෙකින් නිමාවට පත්වූයේ නොවේ. උන්වහන්සේ විසින් බ්‍රාහ්ම ධර්‍මය, මාසර්තු ලක්ෂණය, වර්‍ණරීතිය, මහාවංශය සිංහල පරිවර්තනය, සීමා විභාගය, සත්‍ය සංග්‍රහය, කව්සේකර සන්නය, සන්ධි සංග්‍රහය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදී ග්‍රන්ථ ලිවීමන් හා සංශෝධනයෙන් එළිදක්වා ඇත. උන්වහන්සේ තුළ පැවති පාණ්ඩිත්වය ප්‍රකට ව ම පෙනෙනුයේ බාලාවතාරයට කර ඇති සුබෝධිනී ටීකාවෙනි.
අධ්‍යාපනය, අධ්‍යයනය දෙකෙන් පමණක් විද්‍යොදය පිරිවෙණේ මේ යුගය බැබළුනේ නොවේ. ජාතික නිදහස් සටනට පණ පොවමින් විවිධ රැස්වීම් පවත්වමින් විමුක්තිකාමීන් එක රොදකට බැඳ තබා ගන්නට හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගල නාහිමියෝ සමත්වූහ. එකළ පැවති වාද විවාද රාශියකට තම දායකත්වය දැක්වූ උන්වහන්සේ අධිමාස වාදය, පාරුපණ වාදය, නණලළ වාදය, සව්සත්දම් වාදය, පානදුරාවාදය ආදියේ දී දැක්වූ දායකත්වය ප්‍රශංසනීය ය. උන්වහන්සේ වෙත මල්වතු මහාවිහාරය සහ විවිධ ආයතන ගෞරව නාම ලබාදීමෙන් හා සාමාජිකත්වයන් ලබාදීමන් සේවය අගය කොට ඇත.
ශ්‍රී පාදස්ථානයේ නායක ධුරය, ගාලු පළාතේ නායක ධුරය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන නායක ධුරය, උපාධ්‍යාය පදවිය පරමවිඥානාර්ථ සමාගමේ උපසභාපති පදවිය, ඉතාලියේ රාජකීය ආසියාතික සමාගමේ සාමාජිකත්වය සහ බ්‍රිතාන්‍ය ආසියාතික සමාගම මගින් ෆැලෝ යන විද්‍යාවිශාරද උපාධිය ද පිරිනැමූහ.
කෘෂ ශරීරයකින් හෙබි පෘථුල නළල් තලයක් හිමි මුන්වහන්සේගේ කය දුටුවෙකුට තවත් වරක් නොබලා සිටිය නොහැකිය. නිල් මැණික් බඳු අක්ෂි යුග්මය ලොවට හඬගා කියන්නේ උදාරතර ජාතික වීරවරයෙකුගේ හා අද්‍යයතන ධර්‍මශාස්ත්‍රෝන්නතියේ මහා වෘක්ෂය මුන්වහන්සේ බවයි. දක්ෂිණ ලංකාවට මතු නොව මුළුමහත් බෞද්ධ ලෝකයාට ම ආඩම්බරයක් ගෙනදුන් මේ මහා යතීන්ද්‍රයන් වහන්සේ වර්‍ෂ 1911ක් වූ අප්‍රේල් මස 29 වන දින කීර්තිශේෂභාවෝපගත වූහ.

අතිපූජ්‍ය මහගොඩ ශ්‍රීඥානේෂ්වර නාහිමි (1911 – 1922)
දකුණු ලක බෙන්තර වලල්ලාවිට කෝරළයේ “මහගොඩ” නම් රමණීය ග්‍රාමවරයෙහි විසූ දොන් ඒබ්‍රහම් ගුණවර්‍ධන වික්‍රමාරච්චි වෙදමහතාට සහ එම හාමිනේට දාව ක්‍රි.ව. 1864 මැයි 17 වනදා තම කුළුදුල් දරුවා උපත ලැබීය. ධන්‍ය පුණ්‍ය බල මහිමයෙන් සපිරි මේ කුමරුවා තම පියාණන් වූ බාල වෙදමහත්තයා ඇතුළු පවුලේ ඥාති හිතමිත්‍රාදීන්ගේ චිත්තාරාධනය කෙරෙමින් කෙළිදෙලෙන් කාලය ගත කළහ.
මෙම කුමරුවාගේ මව්තුමියගේ මාමා කෙනෙකු විසින් පුණ්‍යවන්ත මෙම දරුවා තම නිවසට කැඳවාගෙන යන ලදී. ඒ මාමා, හොඳ ඉංග්‍රීසි උගතෙකු වූ අතර මේ දරුවාට ද ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමට කල්පනා කළේය. ඊට ප්‍රථම සිංහල බස ද ඉගැන්වීම සුදුසු යැයි තේරුම් ගත් මේ මාමා සුපින්වත් කුමරුවා අකුරු අභ්‍යාස කරණ සුදුසු කාලය ළඟා වූ විට එදා මෙරට වැඩ විසූ පාලි භාෂාව පිළිබඳ විශාරද නුවණින් හෙබියා වූ අග්‍රගණ්‍ය පඬිරුවනක් වූ බෙන්තර වනවාස පුරාණ විහාරවාසී කීර්තිමත් යාත්‍රාමුල්ලේ ශ්‍රී ධම්මාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පමුණුවා අත්පොත් තැබ්බවීය.
මෙලෙසින් පුරා සඳ සේ මැනවින් උද්ග්‍රහණ ධාරණාදියෙහි යෙදෙන තම පුත්‍ර රත්නය දෙස සතුටින් බලා සිටි බාල වෙදමහත්තයා තම ස්වාමි දුවගේ අවසාන කැමැත්ත ඉටු කරලීමට කල්පනා කළහ. එනම් දරුවා පැවිදි කරන ලෙස මව්තුමිය මිය පරලොව යාමට පෙර ඉල්ලා තිබිණි. ඒ අනුව පැවිදි කිරීම සඳහා ගෞරවාර්හ කෝම්මල ශ්‍රී ඉන්දසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත භාර කරණ ලදී. මේ හිමියන් පමණක් නොව අලුත්ගම්බද්දේ කන්දේ විහාරාධිපති මහගොඩ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද මේ කුමරුවාගේ සීයා කෙනෙක් විය. කෙසේ වෙතත් මේ කුල කුමරුවා වර්‍ෂ 1872 කෝම්මල ඉන්දසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්‍ය්‍යත්වයෙන් මහගොඩ ඤාණිස්සර නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් කළහ.
පෙර සඳහන් කළ පරිදි මැනවින් බණ පිරිත් ආදියෙහි ප්‍රොත්සාහී වූ අපේ මහගොඩ කුඩා හාමුදුරුවෝ ටික කලක් ගත වන විට දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ නමක් බවට ද පත්වූහ. දිනක් මේ මහගොඩ ඤාණිස්සර හාමුදුරුවන්ගේ ධර්ම දේශනයක් ඇසූ වලල්ලාවිට කෝරළය පාලනය කළ ආතර් ජයවර්‍ධන මුදලිතුමා ඉතාමත්ම පැහැදී මේ කුඩා හාමුදුරුවන්ගේ අනාගතාභිවෘද්ධිය පිණිස කළ යුතු සියලු කටයුතු නොපිරිහෙලා සිදුකරන බවට පොරොන්දු විය. එපමණකින්ම තම පොරොන්දුව අත් නොහැරි මෙතුමා මේ දක්ෂ පොඩි හාමුදුරුවන් එවක දස දෙස සුපතළ යශෝරාවයකින් ශ්‍රී ලංකාවාසීන්ගේ මුව මුව පිළිරැව් දුන් කොළඹ මාලිගාකන්ද විද්‍යොදය මහා විද්‍යාලයට ඇතුළත් කිරීමට යෝජනා කොට වර්‍ෂ 1883 මැයි මාසයේ පණ්ඩිත ශිරෝමණි අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත භාර කරණ ලදී. උන්වහන්සේ වෙතින් මැනවින් ධර්‍මවිනය, ශබ්ද ශාස්ත්‍ර හදාළ මහගොඩ ස්වාමීන් වහන්සේ ව 1893 ජනවාරි මස දී අතිපූජ්‍ය හික්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විද්‍යොදය පිරිවෙණෙහි උපාචාර්‍ය්‍ය ධුරයකට පත්කර ගන්නා ලදී.
වර්‍ෂ 1899 දී අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගෞරවාර්හ මහගොඩ ශ්‍රී ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපප්‍රධාන ධුරයට උසස් කරණ ලදී. ඒ වන විට මුන්වහ්සේගේ වයස අවුරුදු 35ක් වූවා පමණි. මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහනිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් වර්‍ෂ 1910 දී සපරගමු පළාතේ ප්‍රධාන නායක ධුරය මුන්වහන්සේ වෙත පවරණ ලදී.
හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්‍ෂ 1911 අප්‍රේල් 29 වනදා කීර්තිශේෂභාවෝපගත වූයෙන් එයින් හිස්වූ විද්‍යොදය පරිවෙණාධිපති ධුරයට සපරගමු පළාතේ ප්‍රධාන නායක මහගොඩ ශ්‍රී ඤාණිස්සරාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1911 මැයි මස 16 වනදා විද්‍යාධාර සභාව මගින් තෝරාපත් කරගන්නා ලදී.
මේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සිදුවූ උසස්ම ශාස්ත්‍රීය සේවය නම් හේවාවිතාරණ ත්‍රිපිටක ග්‍රන්ථ සංශෝධනයෙහි මූලිකත්වය ගෙන පෙළ, අටුවා, ටීකා මැනවින් විශද කර ඒවා නිවැරදි ලෙස ලියා තැබීමයි. එපමණක් නොව ග්‍රන්ථකරණ රාශියක් ද සිද්ධ කළ මුන්වහන්සේ නීති ශතකය, සමන්තකූට වණ්නනාව, දම්පියා අටුවා ගැටපදය, වෘත්තරත්නාකරය ආදී පොත් ශුද්ධ කොට මුද්‍රණයෙන් පළ කළහ.
වර්‍ෂ 1864 මැයි මස 17 වැනිදා දකුණු සිරිලක බෙන්තර වලල්ලාවිට කෝරළයේ මහගොඩ නැමති සුන්දර ග්‍රාමයේ ජන්ම ලාභය ලබා, අට හැවිරිදි වියේ දී ප්‍රව්‍රජ්‍යා භූමියට පත්ව, දහනව වන වියේ දී විද්‍යොදය පිරිවෙණට ඇතුළත් ව, විසිපස්වන වියේ දී උපසම්පත්තියට පත්ව, විසි නව වන වියේ දී විද්‍යොදය පිරිවණේ උපාචාර්‍ය්‍ය ධුරයකට පත්ව, තිස්පස්වන වියේ දී එහිම උපප්‍රධාන ධුරයකට පත්ව, හතළිස් හය වන වියේ දී සපරගමු පළාතේ සංඝනායක ධුරයට පත්ව, හතළිස් හත්වන වියේ දී භික්ෂුවක් වශයෙන් නැගිය හැකි ඉහළම තැන වන විද්‍යොදය පරිවෙණාධිපති ධුරයට පත්ව ලෝකශාසනද්වයට ඉමහත් සේවාවක් සිදු කරමින් වැඩ සිටි ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය, ගෞරවාර්‍හ මහගොඩ ශ්‍රී ඤාණිස්සරාභිධාන කොළඹ සපරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක මාහිමියන් වහන්සේ පනස්අටවන විය ගත කරමින් සිටිය දී වර්‍ෂ 1922 නොවැම්බර් මස 06 වැනිදා රාත්‍රී භාගයේ දී සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව පසක් කරමින් සුවහසක් ගිහි පැවිදි සමූහයා ශෝකාර්‍ණවයෙහි නිමග්න කරවමින් අපවත් වී වදාළහ

පූජ්‍ය කහවේ රතනසාර නාහිමි (1922 – 1936)
දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ කහව නම් සුප්‍රකට ග්‍රාමවරයෙහි ප්‍රධාන කුල නායකයෙකු වූ දොන් දියෝනිස් නාග විජේනායක ලොකු මහත්මයාට දාව එම නාග විජේනායක ලොකු හාමිනේට වර්‍ෂ 1872 සැප්තැම්බර් මස 02 වන සඳුදා කුශලශ්‍රීයෙන් විරාජමාන උතුම් පුත්‍ර රත්නයක් ලැබිණි. මේ පුණ්‍යවන්ත කුමාරයාට මව්පිය දෙදෙන විසින් චාල්ස් නාග විජේනායක යන නාමය තබන ලදී.
නිසි වයස් පැමිණි කළ අක්ෂරාභ්‍යාසයෙහි යෙදුණු මේ කුමරු වැඩිහිටියන් විසින් මූලික අධ්‍යයන කටයුතු සඳහා බද්දේගම පිහිටි එංගලන්ත සභාවට අයත් ස්වභාෂා පාඨශාලාවට යවන ලදී. එහිදී ඉතා දක්ෂ ලෙස ඉගෙනීමෙහි යෙදීමට මෙකුමරුවා සමත් විය. පූර්වෝපචිත පුණ්‍ය ශක්තිය ඉස්මතු වී ආ නිසාවෙන් මෙකුමරු පැවිදි කරණු පිණිස බද්දේගම හැඩිදෙමළ කන්දේ දුටුගැමුණු රජමහා විහාරාධිපති ව වැඩ විසූ කෝරළේගොඩ උපනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට බාරකරණ ලදී. එහෙත් උන්වහන්සේ අපවත් වී වදාළෙන් මෙකුමරුවා පැවිදි කිරීමේ වගකීම වේරගොඩ සෝණුත්තර හිමියන් වෙත පැවරිණි.
ඒ අනුව වර්‍ෂ 1889 ඇසළ පුර පසළොස්වක පොහොය දා විජේනායක කුල දරුවා කහවේ රතනසාර යන නාමයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ. මූලික පැවිදි අධ්‍යයන කටයුතු තොටගමු විජයබා පරිවෙණස්ථානයට ඇතුළත්ව තත් පරිවෙණාධිපතිව වැඩවිසූ පූජ්‍ය මකලාණ්ඩුවේ ශ්‍රී රාහුල මේධංකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ලැබීය. ඉතාමත් උද්‍යෝගිමත් ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වූ රතනසාර සාමණේරයෝ වර්‍ෂ 1891 මැයි මස 01 වනදා මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත් වූහ.
එහිදී හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගල මාහිමියන්ගේ සෙවණෙහි ශබ්දශාස්ත්‍ර හදාළ මුන්වහන්සේ පිළිබඳව බුරුම ජාතික ජාගර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ “හික්කඩුවේ නායක ස්වාමීන් වහන්සේට නිල් මැණිකක් ලැබී තිබෙනවාය” යනුවෙනි. වයස 19 දී ප්‍රව්‍රජ්‍යා භූමියට පත් රතනසාර ස්වාමීන් වහන්සේ වර්‍ෂ 1897 වෙසක් මස පුරපසළොස්වක පොහොය දිනයේ දී මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පත්තියෙහි පිහිටියහ. වර්‍ග පටිපාටියෙන් විද්‍යොදය පිරිවෙණෙහි අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් ත්‍යාග සහිතව සාමාර්ථය ලැබූ මුන්වහන්සේ වර්‍ෂ 1901 දී විද්‍යොදය පිරිවෙණේ උපාචාර්‍ය්‍ය ධුරයකට තෝරාපත් කරගන්නා ලදී. වර්‍ෂ 1911 දී එහිම උපප්‍රධාන පදවියට පත්වූ මුන්වහන්සේ වර්‍ෂ 1922 දෙසැම්බර් මස 01 වනදා පරිවෙණාධිපති ධුරයට ද පත්වූහ.
විද්‍යොදය පිරිවෙණේ ස්වර්ණමය යුගල උදාවූයේ මුන්වහන්සේගේ පාලන සමයේ දී බව නොවළහා කිව යුතුය. හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගල නායක ස්වාමීන්ද්‍රයන් දවස සිට ආ අධ්‍යාපන විෂය නිර්දේශයෙහි වෙනස්කම් කිහිපයක් සිදුකොට වර්‍ෂ 1925 සිට ප්‍රථම අධ්‍යාපන පීඨය, උපරි අධ්‍යාපන පීඨය යනුවෙන් කොටස් දෙකකට බෙදා ප්‍රථම පරීක්ෂණය, මධ්‍ය පරීක්ෂණය, අවසාන පරීක්ෂණය යනුවෙන් පරීක්ෂණත්‍රයකට පිළියෙළ කළහ. ශ්‍රී සුමඞ්ගල ධර්‍ම මන්දිරය ඉදිකරවීම, කාමර 51කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාර 3ක් ඉදිකරවීම, ශ්‍රී සුමඞ්ගල ගුණානුස්මරණ සමිතිය පිහිටුවීම, විද්‍යොදය ආදිශිෂ්‍ය සංගමය පිහිටුවීම සහ විද්‍යොදය පාරිවෙණික ශිෂ්‍ය සංගමය ආරම්භ වූයේ මුන්වහන්සේගේ පාලන සමය තුළ දී ය.
ධර්මශාස්ත්‍රෝන්නතියේ දියුණුව උදෙසා ග්‍රන්ථ කරණයෙහි ද නිරත වූ මුන්වහන්සේ සාරස්වතය, සංස්කෘත ප්‍රවේශය, සිදත් සඟරා ව්‍යාඛ්‍යාව, සැළලිහිණි සන්දේශ සාරාර්ථ ව්‍යාඛ්‍යාව, ලඝු සංස්කෘත ප්‍රවේශය ආදී ග්‍රන්ථ සංස්කරණයෙන් සහ නිෂ්පාදනයෙන් ඡාත්‍ර සමූහයාට ඉමහත් සෙත සැලසූහ, හේවාවිතාරණ ත්‍රිපිටකග්‍රන්ථ ශුද්ධියේ ශෝධකයෙකු වශයෙන් ධම්මපදට්ඨකථා, අත්ථසාලිනී, අංගුත්තර නිකාය ටීකා ප්‍රථම භාගය, සද්ධම්මෝපායනය ආදී ග්‍රන්ථ සකස් කර දුන්හ.
වසර 14ක කාලයක් විද්‍යොදය පිරිවෙණේ පරිවෙණාධිපතිත්වය හොබවමින් අමිල සේවාවක නිරතවූ මුන්වහන්සේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් වර්‍ෂ 1936 මාර්තු මස 03 වනදා යශෝශේෂභාවෝපගත වී වදාළහ.

පූජ්‍ය බද්දේගම පියරතන නාහිමි (1936 – 1958)
බද්දේගම උතුරු මායිමේ පිහිටි හම්මෑලිය ග්‍රාමයේ කොස්කඳවක්කඩ නමැති ස්ථානයෙහි විසූ දොන් කොරණොලිස් සූරියාරච්චි ලොකු මහත්තයාට සහ ගාලු වැල්ලබඩපත්තුවේ ගොඩගම විසූ දෝන කතිරිනා විජයතිලක හාමිනේ යන දෙපළට දාව වර්‍ෂ 1883 ඔක්තෝම්බර් 13 දින සුපින්වත් කුමරකු උපත ලැබීය. මොහු නමින් රිචඩ් සූරියාරච්චි අමරසේකර නම් විය.
වර්‍ෂ 1898 පෙබරවාරි 22 දින සුභ මොහොතින් උයන්වත්තේ ශ්‍රී රේවත මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කිහිඹියේ ශ්‍රී සුමනතිස්ස, කළහේ ශ්‍රී ගුණරතන, වත්තේහේනේ රතනපාල යන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්‍ය්‍යත්වයෙන් රිචඩ් කුලදරුවා බද්දේගම පියරතන නාමයෙන් ප්‍රව්‍රජ්‍යාභූමියට ඇතුළත් කරන ලදහ. මූලික බණ දහම් ස්වකීය ආචාර්‍ය්‍යයන් වහන්සේ වෙතින් උගත් පියරතන සාමණේරයෝ උසස් අධ්‍යයන කටයුතු සඳහා කිතුලම්පිටියේ ආනන්ද පිරිවෙණට ඇතුළත් කළ අතර එහිදී අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී ධම්මරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු ආචාර්‍ය්‍ය මණ්ඩලය වෙතින් ධර්මවිනය, ශබ්දශාස්ත්‍ර හදාළහ.
නිසි වයස් සම්පූර්ණව උපසම්දාර්හව සිටි පියරතන හෙරණපාණෝ වර්‍ෂ 1904 මැයි මස 28 වනදා මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පත්තියෙහි පිහිටියහ. දැන උගත්කමින් ඉහළින් වැජඹුණු පියරතන හිමිපාණෝ වර්‍ෂ 1907 පෙබරවාරි මස 08 වන දින කිතුලම්පිටිය ආනන්ද පිරිවෙණේ උපප්‍රධාන ධුරයට පත්කරගන්නා ලදී. එම ධුරයෙහි වසර 12ක් කටයුතු කරමින් සිටින අතරතුර වර්‍ෂ 1919 දී වැලිවිටියේ ශ්‍රී ධම්මරතන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ ප්‍රධානාචාර්‍ය්‍ය ධුරයට පත් විය.
එසමයෙහි ආනන්දෝදය නමින් සඟරාවක් ආරම්භ කොට ධර්මශාස්ත්‍රාභිලාශීන්ට වැදගත් වන ලිපි ආදිය පළකරවමින් උන්වහන්සේ සිදුකළ මෙහෙය මෙහිදී අගය කළ යුතුය.
ලක්දිව ප්‍රාචීන භාෂාවන්හි කෝෂ්ඨාගාරයමාන මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණෙහි උපප්‍රධාන ධුරය දැරූ පණ්ඩිත වැලිපිටියේ දේවානන්ද නාහිමියන් 1924 දී අපවත්වී වදාළෙන් එකී උපප්‍රධාන ධුරය හිස්විය. ඒ සඳහා සුදුස්සකු සෙවීමට විද්‍යාධාර සභාව සහ ආචාර්‍ය්‍ය මණ්ඩලය උත්සුක වූ අතර ඒ සඳහා නියම සුදුස්සා වෙන කවරකුවත් නොව බද්දේගම පියරතන හිමිපාණන් වහන්සේ බව නිශ්චය කොට කිතුලම්පිටියට පැමිණ උන්වහන්සේ කොළඹට වඩමවාගෙන ගියහ. ඒ අනුව 1925 පෙබරවාරි මස 24වන දින විද්‍යාධාර සභාව මගින් උන්වහන්සේ ව විද්‍යොදය පිරිවෙණේ උපප්‍රධාන ධුරයට පත්කර ගන්නා ලදී.
එතැන් සිට විද්‍යොදය පිරිවෙණෙහි ආචාර්‍ය්‍ය මණ්ඩලයේ වැඩ සිටි ඕෂධී තාරකාවක් බවට මුන්වහන්සේ පත්විය. උන්වහන්සේ සිදුකරගෙන යන ශාසනික මෙහෙවර ගැන පැහැදුණු මල්වතු පාර්‍ශවයේ කාරක මහාසංඝසභාව විසින් වර්‍ෂ 1933 දී මුන්වහන්සේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත්කරන ලදී. වසර 11ක කාලයක් විද්‍යොදය පිරිවෙණේ උපප්‍රධාන ධුරය හෙබවූ මුන්වහන්සේ කහවේ රතනසාර මාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ පරිවෙණාධිපති ධුරයට විද්‍යාධාර සභාව මගින් පත්කරගන්නා ලදී.
වර්‍ෂ 1942 ලෝක යුද උණුසුම පැතිර යද්දී පවා පිරිවෙණ වසා නොදමා වෙනත් ප්‍රදේශ කිහිපයක පිරිවෙණේ පන්ති පැවැත්වීමට මුන්වහන්සේට හැකි විය. ධර්‍මශාස්ත්‍රෝන්නතියේ අභ්‍යුදය උදෙසා ග්‍රන්ථ කිහිපයක් සංස්කරණය කළ බද්දේගම පියරතන නාහිමිපාණෝ සාරස්වත ව්‍යාඛ්‍යාව, සාරස්වත පද සාධනය, සුත්තසංගහට්ඨකථා සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථ මුද්‍රණද්වාරයෙන් එළි දැක්වූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යසූරී උපාධියෙන් සම්මානිත වූ බද්දේගම පියරතන නාහිමියෝ 1949 දී ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය උපාධිය සහිත ව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරය ද, උපාධ්‍යායය පදවිය ද හෙබවූහ.
දහස් ගණනක් ඡාත්‍ර සමූහයාට ධර්මවිනය, ශබ්දශාස්ත්‍ර ලබාදුන් මුන්වහන්සේ 1960 පෙබරවාරි 13 වනදා කීර්තිශේෂභාවෝපගත වී වදාළහ.

පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි (1958 – 1963)
ගාලු දිස්ත්‍රික්කයේ තල්පේ පත්තුවට අයත් සුන්දර ගම්පියසක් වන ඉමදූව කෝදාගොඩ ග්‍රාමයේ දී වර්‍ෂ 1897 මැයි 23 වනදින වෛද්‍යාචාර්‍ය්‍ය දොන් ජොහානිස් කුමාරසිරි ජයවර්ධන මහතාට සහ ඇලිස් අමරසිංහ හාමිනේ යන දෙපළට දාව ජන්ම ලාභය ලැබූ උතුම් පුත්රුවන චන්ද්‍රදාස කුමාරසිරි ජයවර්ධන නම් විය.
මූලික අධ්‍යාපනය හීනටිගල විදුහලෙන් ලැබූ මෙම කුල දරුවා එම කාලය අතරතුරම රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙණට ඇතුළත් ව ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාළේය. තමන්ට මින් පෙර ලැබුණු දරුවන් තිදෙනෙක් බාලකාලයේ දී මියයෑම නිසා ස්වකීය දෙමාපියන් විසින් චන්ද්‍රදාස කුමරා පැවිදි කිරීම සඳහා හික්කඩුව, හෙට්ටිගොඩ තිලකාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය කහවේ පේමරතන නාහිමියන් වෙත භාර කරණ ලදී.
උන්වහන්සේ විසින් චන්ද්‍රදාස කුලදරුවා 1912 ඔක්තෝම්බර් 15 වනදා වැලිවිටියේ සෝරත නමින් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් කරන ලදී. ස්වකීය ගුරුදේවයන් වහන්සේ වෙතින් අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම විභාගද්වයෙන් විශිෂ්ට අයුරින් සමත්වීමට සෝරත හිමියෝ දක්ෂ වූහ. වර්‍ෂ 1917 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත් ව ශ්‍රේෂ්ඨ ආචාර්‍ය්‍යන් වහන්සේලා වෙතින් ශාස්ත්‍ර හදාරා 1922 දී විද්‍යොදය අවසාන විභාගයෙන් ද උත්තීර්ණ වූහ. වර්‍ෂ 1923 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්වූ ප්‍රාචීන අවසාන විභාගය සඳහා පෙනී සිට භාෂාත්‍රයෙන් ගෞරව පන්තියේ ප්‍රමුඛයා ලෙස සමත්ව උභයශේකර ස්වර්ණ මුද්‍රිකාව දිනාගැනීමට මුන්වහන්සේ සමත් වූහ. කහවේ ශ්‍රී සුමඞ්ගල රතනසාර මාහිමියන් විසින් තුරුණු සෝරත හිමිපාණන් විද්‍යොදය පිරිවෙණේ ආචාර්‍ය්‍ය තනතුරකට පත්කරගත්තේ උන්වහන්සේ පිරිවෙණේ ඉගෙනීම කළ සමයේ දී ම ය.
අතිපූජ්‍ය කහවේ සුමංගල රතනසාර නාහිමියන් 1936 දී අපවත් වීමෙන් පුරප්පාඩු වූ පරිවෙණාධිපති ධුරයට බද්දේගම පියරතන මාහිමියෝ පත්වූහ. බද්දේගම නාහිමියන් එතෙක් දැරූ උපප්‍රධාන ධුරයට වැලිවිටියේ සෝරත හිමිපාණෝ පත්වූහ. විද්‍යොදය පිරිවෙණේ කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යාමට සෝරත හිමිපාණෝ යුහුසුළුව ක්‍රියාකළහ. බද්දේගම පියරතන මාහිමියන් වයෝවෘද්ධ තත්වයෙන් පසුවූයෙන් පිරිවෙණේ කටයුතු පවත්වාගෙන යාමට සමපරිවෙණාධිපතීන් වහන්සේ ලෙස 1957 දී විද්‍යාධාර සභාව විසින් උන්වහන්සේ තෝරාපත් කරගන්නා ලදී.
ලක් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් විද්‍යොදය පිරිවෙණ විශ්වවිද්‍යාලයක් බවට පත්වූයේ 1959 පෙබරවාරි 15 වනදා ය. එම කාර්‍ය්‍යයේ දී ප්‍රමුඛ කාර්‍ය්‍යභාරයක් ඉටුකළේ වැලිවිටියේ සෝරත නාහිමිපාණෝ ය. මුන්වහන්සේ විශ්වවිද්‍යාලයාධිති වශයෙන් ගංගොඩවිලින් අක්කර 30ක පමණ ඉඩමක් රජයෙන් ගෙන ඉතා කෙටි කාලයක් තුළ ගොඩනැගිලි නංවා විශ්වවිද්‍යාලයට අවැසි යටිතල පහසුකම් සැපයූහ. මුන්වහන්සේගෙන් ධර්මශාස්ත්‍රීය වශයෙන් සිදුවූ මෙහෙවර වචනවිෂයතික්‍රාන්ත ය. අභිනවයෙන් ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ මුන්වහන්සේ ඉපැරණි ග්‍රන්ථවලට සන්න ගැටපද ලියූහ. මුන්වහන්සේ නිෂ්පාදනය කළ සහ සංස්කරණය කරන ලද ග්‍රන්ථ ප්‍රමාණය 33කි. රුසියාවෙන් ලැබුණ ආරාධනයක් අනුව එරටට වැඩම කළ සෝරත නාහිමියෝ එහි සංචාරය කරමින් එරට විශ්වවිද්‍යාලය නරඹමින් අලුත් අත්දැකීම් එකතු කරගනිමින් සිටියහ. ඒ ලක්දිවට පැමිණි පසු ඒවා ක්‍රියාත්මක කිරීමට ය.
එහෙත් සිදුවූයේ අනිකකි. මුන්වහන්සේ ලක්දිවට වැඩම කරවන විට ශරීරය වැහැරුණු ස්වභාවයකින් යුක්ත විය. ප්‍රතීකාර සඳහා මුන්වහන්සේ කොළඹ මහාරෝග්‍ය ශාලාවට ඇතුළත් කරන ලදුව කරන ලද ප්‍රතීකාරයන්ගෙන් සුවයක් නොලබා 1963 ජූලි 17 වනදා යශෝශේෂභාවෝපගත වී වදාළහ

පූජ්‍ය කලුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහනාහිමි (1963 – 1972)
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවේ පිහිටි කලුකොඳයාව නම් ග්‍රාමවරයේ දී 1895 දෙසැම්බර් 30 වෙනිදා ලියනගේ දොන් රොමානිස් අප්පුහාමි මහතාට සහ මලවිපතිරගේ දෝන දොච්චොහාමි යන දම්පතීන්ට දාව දොන් ඉගෝනිස් නමින් මුන්වහන්සේ මෙලොව උපත ලදහ.
මූලික අධ්‍යාපනය දෙකටන බැප්ටිස්ටා පාඨශාලාවෙන් ලද ඉගෝනිස් කුමරුවා වෛද්‍යශාස්ත්‍රය ඉගෙනීම පිණිස මාපියන් විසින් දැඩිගමුවේ සීලක්ඛන්ධ මාහිමියන්ට භාරකරන ලදී. අනතුරුව වර්‍ෂ 1911 පෙබරවාරි මස 23 වනදා නවගමුව සුගතබිම්බාරාම රජමහා විහාරයේ දී කටුවාවල සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්‍ය්‍යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් කරන ලදී. වසර දෙකකට අධික කාලයක් දැඩිගමුවේ සීලක්ඛන්ධ නාහිමියන් වෙතින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1913 අප්‍රේල් 25 වනදා මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත් ව එහි ශ්‍රේෂ්ඨ ආචාර්‍ය්‍යයන් වහන්සේලා වෙතින් භාෂාශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කිරීමට මුන්වහන්සේට හැකි විය.
මේ වන විට විසිවස් සම්පූර්ණව උපසම්පදාර්හ ව සිටි මුන්වහන්සේ 1916 පෙබරවාරි මස 05 වනදා ගල්වාන කැලණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා ශීලයට පත්වූහ. වර්‍ෂ 1913 සිට වර්‍ගපටිපාටියෙන් අධ්‍යයන කටයුතුවල නිරත වූ මුන්වහන්සේ විද්‍යොදය පිරිවෙණේ උසස්ම ත්‍යාගය වන ශ්‍යාමරාජ ත්‍යාගය දිනාගැනීමට ද සමත්වූහ. 1922 වසරේ ජුනි 01 වනදා විද්‍යොදය පිරිවෙණහි ආචාර්‍ය්‍ය ධුරයකට මහගොඩ ඤාණිස්සර නාහිමියන් විසින් පත්කරගන්නා ලදී. වර්‍ෂ 1930 මාර්තු මස 12 වනදා ලංකාණ්ඩුවේ වැඩබලන පිරිවෙන් පරීක්ෂක ධුරයට කළුකොඳයාවේ නාහිමි තේරීපත් විය. විද්‍යොදය පිරිවෙණෙහි නේවාසික ගැටලුව විසඳීම සඳහා ප්‍රමුඛ කාර්‍ය්‍යයක් ඉටුකළ පඤ්ඤාසේකර නාහිමි කුකුල්නාපේ දේවරක්ඛිත නාහිමි, පරවාහැර වජිරඤාණ නාහිමි යන නාහිමිවරුන් සමග එක්ව දෙමටගොඩ පාරේ සිල්වන් විලා ගෘහය බද්දට ගෙන සිසුන්ට එහි නවාතැන් දීමට ක්‍රියාකළේය. ලෝක යුද සමයේ දී රාජකීය හමුදාවේ ධර්මෝපදේශ තනතුරට ද මුන්වහන්සේ පත්කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ අපරාධ හා අමද්‍යප මර්දන ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ මුන්වහන්සේ ඒ වෙනුවෙන් දිවයින පුරා වැඩමවමින් දේශනා පැවැත්වීය. වර්‍ෂ 1945 දී විද්‍යොදය පිරිවෙණෙහි උපප්‍රධාන ධුරයට පත්වූ මුන්වහන්සේ එම වර්‍ෂයේ දී ම කල්‍යාණි සාමග්‍රී ධර්‍ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන් ද පිදුම් ලැබූහ.
1958 අගෝස්තු මස 30 වනදා තත් නිකායේ මහානායක පදවියට ද එහි කාරක මහාසංඝසභාව මගින් පත්කරගන්නා ලදී. 1959 පෙබරවාරි මස 12 වනදා විද්‍යොදය පිරිවෙණේ සමපරිවෙණාධිපති ධුරයට විද්‍යාධාර සභාව මගින් පත්කරගත් අතර 1960 මාර්තු 04 වනදා ස්ථිර ලෙස ම පරිවෙණාධිපතින් වහන්සේ ලෙස තෝරාපත්කර ගන්නා ලදී. විද්‍යොදය විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට විවිධ වගකීම් දැරූ පඤ්ඤාසේකර නාහිමියෝ එහි සිංහල අංශයේ ප්‍රමුඛාචාර්‍ය්‍ය, පාලි හා ප්‍රාකෘත අංශයේ ප්‍රමුඛාචාර්‍ය්‍ය හා භාෂාධ්‍යයනනේද්‍රීය විනේතෘ ධුරයට ද තේරීපත් වූහ. කලුකොඳයාවේ මාහිමියන්ගෙන් සිදුවූ විශිෂ්ටතම සාහිත්‍ය සේවාව වන්නේ පුවත්පත් සඟරා ඉතිහාසය නමින් කාණ්ඩ 8 කින් සමන්විත ව ලියා පළකළ කෘතියයි. එය ඉතා වෙහෙස මහන්සියෙන් සම්පාදනය කළ කෘති පෙළකි. උන්වහන්සේ විසින් මහාරූපසිද්ධි ටීකාව, කංඛාවිතරණී පිටපොත, මහානිමි ජාතකය, ධම්මසංගණීප්‍රකරණය, පාචිත්තිය පාළි ආදී ග්‍රන්ථ ද ශෝධනය කොට ප්‍රකාශයට පත්කර ඇත. වසර හැට හතරක නිකැළැල් පැවිදි දිවියක් ගත කළ මුන්වහන්සේ 1977 නොවැම්බර් මස 12 වනදා කීර්තිශේෂභාවෝපගත වී වදාළහ.

පූජ්‍ය ගලගම ශ්‍රී සරණංකර නාහිමි (1972 – 1975)
දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ ගලගම දීවෙලවත්තේ විසූ දොන් පේදිරිස් වණිගනායක රාලහාමි මහතාට සහ දෝන ගිමාරා සමරසේකර ලොකු හාමිනේට දාව වර්‍ෂ 1911 අගෝස්තු මස 11 වන දින ජන්මලාභය ලත් මෙම කුල දරුවා සහෝදරයන් හය දෙනෙකුගේ සහ සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත වණිගනායක පවුලේ බාලයා විය.
මූලික පාසල් අධ්‍යාපනය ලබන මෙම කුමරුවාට පන්සල් ආශ්‍රය නිසාදෝ පැවිදි වීමට සිත් විය. 1924 අවුරුද්දේ නොවැම්බර් මස 09 වෙනිදා නාකුළුගමුව, ගලගම මැද්දෙණියේ ශ්‍රී ශෛලාරාම පුරාණ ගල්ලෙන් විහාරයේ දී පූජ්‍ය බඹරැන්දේ සිරි සුමංගල රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ්‍රී ශෛලාරාම පුරාණ ගල්ලෙන් විහාරාධිපති පූජ්‍ය ඌරුගමුවේ ධම්මජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන දෙනමගේ ආචාර්‍ය්‍ය උපාධ්‍යායත්වයෙන් ගලගම සරණංකර නමින් පැවිදි දිවියට ඇතුළත් කරන ලදී.
නවක ගලගම සරණංකර සාමණේරයෝ පැවිදි දිවියට අවැසි මූලික වත් පිළිවෙත් ආදිය උගෙනිමින් තම ගුරු දේවයන් වහන්සේගේ සමීපයෙහි ඉගෙනීමෙන් පසු ප්‍රාචීන අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත්ව ධර්මවිනය හා ශාස්ත්‍ර හදාළහ. වර්‍ෂ 1932 දී ඓතිහාසික මල්වතු මහාවිහාරීය උපෝසථාගාරයේ දී මැද්දදෙණියේ ශ්‍රී ශෛලාරාම පුරාණ ගල්ලෙන් විහාරාධිපති පූජ්‍ය ඌරුගමුවේ ශ්‍රී ධම්මජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්‍ය්‍යත්වයෙන් එවකට මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහනිකායේ මල්වතු පාර්‍ශවයේ මහානායක ධුරය හෙබවූ අතිගෞරවාර්‍හ පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උතුම් උපසම්පත්ති ප්‍රතිලාභයෙහි පිහිටුවනු ලැබූහ.
ගලගම සරණංකර හාමුදුරුවන්ට ද පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමිපානන්ගේ ශිෂ්‍යවරයෙකු වීමේ වාසනාව ඉහළින් හිමි විය. පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමිපාණන්ගේ ධර්මාන්තේවාසිකයකු ලෙස, සෝරතාභාසය ලබමින් විද්‍යොදය පිරිවෙණ් අවසාන පරීක්ෂණය දක්වා ම හොඳින් ධර්‍මශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නිරත විය. විද්‍යොදය පිරිවෙණේ අවසාන පරීක්ෂණයෙන් ද ත්‍යාග සහිතව සමත් ව සිටි මුන්වහන්සේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසාන පරීක්ෂණයෙන් ද සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද දිනාගනිමින් තමන් තුළ පැවති දක්ෂතා ප්‍රදර්‍ශනය කළහ. මේ අතර එවකට විද්‍යොදය පරිවෙණාධිපති ධුරය හෙබවූ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක අතිගරු බද්දේගම ශ්‍රී පියරතනාභිධාන නාහිමියන් විසින් වර්‍ෂ 1940 දී මුන්වහන්සේ විද්‍යොදය පිරිවෙණේ උපාචාර්‍ය්‍ය ධුරයකට පත්කර ගන්නා ලදී.
අධ්‍යාපන කාර්‍ය්‍යයෙහි නිරතවන අතර ම ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයට පෙනී සිට එයින් ද උසස් ලෙස සාමාර්ථ්‍යය ලබා ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්‍ය්‍යවරයෙකු වශයෙන් ද, අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්‍ය්‍යවරයෙකු වශයෙන් ද මුන්වහන්සේ අධ්‍යාපන සේවාවෙහි නිරත වූහ.
තමන් උගත් දෙය අන් අයගේ ප්‍රයෝජනය පිණිස ලියා තැබූ උන්වහන්සේ ශාස්ත්‍රීය ලේඛනයට පිවිසෙමින් කළ ග්‍රන්ථ අතර, පාසල් දරුවන්ගේ ධර්‍මඥානය දියුණු කිරීම පිණිස ‘සම්බුද්ධාගම’ නමින් කළ පොත් පෙළ ඉතා වැදගත් ය. එසේම සද්ධර්මරත්නාවලිය ශාස්ත්‍රීය සංස්කරණය, එළුඅත්තනගලුවංශය සංස්කරණය, ථූපවංශය, පූජාවලිය, බුදුගුණාලංකාරය, අංගුත්තර නිකාය සහ පූජ්‍ය හීනටිකුඹුරේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් රචිත සිංහලයට පෙරළන ලද මිලින්ද ප්‍රශ්නය කෘතිය නැවත ලිපි දෝෂාදියන් ශුද්ධ කර මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කිරීම තුළින් උන්වහන්සේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සුලභ කිරීමේ කාර්යයෙහි ද නිරත වූහ. ඒ සෑම කෘතියක් තුළින්ම උන්වහන්සේ තුළ පැවැති භාෂාන්තර ඥානය මොනවට පැහැදිලි වේ.
ආගමචක්‍රවර්තී පූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේකරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාරීරිකව දුබල තත්වයෙන් පසු වූයෙන් විද්‍යාධාර සභාව විසින් එවකට උපප්‍රධාන ධුරය හෙබවූ ගලගම පණ්ඩිත සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩබලන පරිවෙණාධිපති ධුරයට පත්කරණු ලැබූහ.
පුරා වසර හැත්තෑවක් ලෝසසුන් වැඩ වැඩූ පණ්ඩිත ගලගම සරණංකර මාහිමියන් වහන්සේ නොසිතූ මොහොතක රෝගී තත්වයකට පත්ව 1982 අප්‍රේල් මස 13 දා කීර්තිශේෂභාවෝපගත වී වදාළහ.

පූජ්‍ය පනම්ගල ශ්‍රී ජිනරතන නාහිමි (1075 – 1978)
දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයේ හිනිඳුම් පත්තුවට අයත් පනම්ගල දී එගම් වැසි ගල්පොත්තපැලැස්ස පරම්පරාව අයත් සත්ගුණවත් වන්නිආරච්චි කංකානම්ගේ අන්දිරිස් ලොකු මහත්තයාට හා මිල්ලේ විතානාරච්චි මර්තිනා හාමිනේ යන දෙපළට දාව වර්‍ෂ 1898 නොවැම්බර් මස 23 වෙනිදා උතුම් පුත් රුවනක් මෙලොව එළිය ලැබූහ. කෙමෙන් කාලය ගෙවී යන අතරතුර මේ කුමරුවා අධ්‍යාපනයට සුදුසු වයසට පැමිණ සිටියෙන් මාපියන් විසින් වයස අවුරුදු හයේ දී පනම්ගල රජයේ පාසලට ඇතුළත් කරණ ලදී. එහි දී මූලික අක්ෂරොච්චාරණාදිය මැනවින් හදාළ මේ කුමරුවා එම පාසලෙහි දීප්තිමත් සිසුවෙකු ලෙස නමක් දිනා ගැනීමට සමත් විය.
දාහතර හැවිරිදි වියේ පසුවූ මේ කුල දරුවා එවකට මාපලගම පරණ තානායම්ගොඩ ගංගාතිලක පුරාණ විහාරාධිපතිව වැඩ විසූ මාබොටුවන ශ්‍රී සෝණුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැවිදි කරන්නට භාරදෙන ලදී. ඒ අනුව වර්‍ෂ 1912 ඔක්තෝම්බර් මස 25 වෙනිදා මාපලගම ගංගාතිලක විහාරස්ථානයේ දී පනම්ගල ජිනරතන නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්විය.
ටික කලක් ගුරු පා සෙවණෙහි පැවිදි වත් පිළිවෙත් සහ පන්සල් පොත් කියවූ ජිනරතන පොඩි හාමුදුරුවෝ වැඩිදුරටත් ඒවා උගෙනීම සඳහා මාබොටුවන සෝණුත්තර හිමියන්ගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ විද්‍යොදය පිරිවෙණේ කෘත්‍යාධිකාරී ධුරය හෙබවූ ගෞරවාර්‍හ හික්කඩුවේ පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට භාරදෙන ලදුව නලාස්දෙණියේ නාගාරාමයෙහි නතරව වැඩිදුරටත් ශාසනික වත් පිළිවෙත් සහ මූලික පැවිදි අධ්‍යාපනය එහිදී ලැබීය. තම පොඩි නම උසස් අධ්‍යාපන ආයතනයක් වෙත යොමුකළ යුතු යැයි කල්පනා කළ මාබොටුවන සෝණුත්තර ලොකු හාමුදුරුවෝ මුන්වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට කැඳවාගෙන අවුත් තමන් වහන්සේගේ දීප්තිමත් ප්‍රධාන ශිෂ්‍යවරයෙකු වූ විද්‍යොදය පිරිවෙණේ ආචාර්‍ය්‍ය ධුරයකට පත්ව කටයුතු කළ ගෞරවාර්‍හ පණ්ඩිත මාපලගම චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ සෙවණෙහි නවත්වා එවකට විද්‍යොදය පරිවෙණාධිපති ධුරය හෙබවූ විද්වද්ජනශේඛරායමාණ මහගොඩ ශ්‍රී ඥානේශ්වරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට භාරදෙන ලදී.
සපිරි විසිවයස් ඇති පනම්ගල ජිනරතන සාමණේරයෝ වර්‍ෂ 1919 මැයි මස 22 මාබොටුවන සෝණුත්තර මාපගම චන්දජෝති යන ස්වාමීන් වහන්සේලාගේ ආචාර්‍ය්‍යත්වයෙන් මල්වතු විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාවට පමුණුවන ලදහ.
විද්‍යොදය පිරිවෙණේ ප්‍රාරම්භ පරීක්ෂණයට ඇතුළත් වූ ජිනරතන හිමිපාණෝ 1922 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිට ඉන් සමත් විය. වර්‍ෂ 1924 විද්‍යොදය පිරිවෙණේ අවසාන පරීක්ෂණයට පෙනී සිට ඉන් ද ත්‍යාග සහිත ව සමත්වූ අතර, වර්‍ෂ 1933 ප්‍රාචීන අවසාන විභාගයට පෙනී සිට රාජකීය පණ්ඩිත උපාධිය ද දිනාගත්හ. ඒ සඳහා උන්වහන්සේ ඉදිරිපත් කළ නිබන්ධය “සිංහල ග්‍රන්ථ වංශය”යි.
විද්‍යොදය පිරිවෙණේ අධ්‍යයන කටයුතු අවසන් කොට සිටි මුන්වහන්සේගේ කීර්ති යශෝරාවය ප්‍රකට වූයෙන් කිතුලම්පිටිය ආනන්ද පිරිවෙණට මුන්වහන්සේගේ සේවය අවශ්‍ය විය. ඉන්පසු ජිනරතන හිමියන්ට විද්‍යොදය පිරිවෙණින් ආරාධනාවක් ලැබුණි. ඒ පණ්ඩිත ශිරෝමණී වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගෙනි. ඒ අනුව එම ආරාධනය පිළිගත් ජිනරතන හිමිපාණෝ 1947 විද්‍යොදය පිරිවෙණේ ආචාර්‍ය්‍ය ධුරයකට පත්විය. එදා සිට ගුරු හිෂ්‍ය දෙපක්ෂයේ ම ගෞරවාදරයට පාත්‍ර වෙමින් කටයුතු කළ අතර විද්‍යොදය විශ්වවිද්‍යාලය ආරම්භයේ එහි පර්යේෂණ අංශ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
1947 වර්‍ෂයේ දී මල්වතු පාර්‍ශවයේ ගරුතර කාරක මහාසංඝසභාව මගින් බෙන්තර වලල්ලාවිට කෝරළේ හා ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ නායක පදවිය මුන්වහන්සේට පිරිනමන ලදී. සිංහල ග්‍රන්ථවංශය, පාලිකථා මඤ්ජරිය, සවිස්තර ප්‍රාතිමෝක්ෂ වර්ණනාව, ආදී කෘති රචනා කළ උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් සේවාවන් රාශියක් ඉටුකර ඇත.
පුරාකෘත පුණ්‍ය බලය හා ගුණධර්ම බලය විසින් ජිනරතන නාහිමියන් කෙරෙහි පැවැති සුදුසුකම් විද්‍යාධාර සභාවට පෙන්වා දෙන ලදී. විද්‍යාධාර සභාව අවිවාදයෙන් ජිනරතන නාහිමියෝ පරිවෙණාධිපති ධුරයට පත්කරනු ලැබූහ. බෙන්තර වලල්ලාවිට කෝරලේ හා ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇති වන සියල්ල නැති වන බව ප්‍රකට කරමින් වර්‍ෂ 1981 සැප්තැම්බර් මස 27 වන දා රාත්‍රියේ අපවත් වී වදාළහ.

පූජ්‍ය අකුරටියේ ශ්‍රී අමරවංශ නාහිමි (1978 – 2007)
දකුණු ලක ගාලු ගඟබඩ පත්තුවේ අකුරටිය නම් ග්‍රාමයේ ජුහානිස් අක්මීමන කුමාරගේ මහතාට සහ විජේසේකර ගුණවර්ධන හාමිනේට දාව වර්‍ෂ 1910 අප්‍රේල් මස 10 උපත ලද පුත් කුමරු රොබට් අක්මීමන කුමාරගේ නම් විය. එදා රටේ පැවති තත්වය අනුව පාසලකට දරුවෙක් ඇතුළු කිරීමට නම් දරුවා බෞතීස්ම කළ යුතු විය. එම තත්වය දකුණු ලක වැඩි වශයෙන් ව්‍යාප්තව පැවතුණි.
රොබට් අක්මීමන කුමරුවාණන්ට නොපෙණෙන දෙවියෙක් වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවිය. එදා ගඟබඩ පත්තුවේ ප්‍රසිද්ධ පාසලක් වූ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබූ රොබට් දරුවා විලියම් යන අපර නාමයකින් දෙවියන්ගේ සාක්ෂ්‍යකාරයකු බවට පත්කරමින් එහි දී බෞතීස්ම කරනු ලැබීය.
මේ සුපින්වත් දරුවාණෝ පුරාකෘත පුණ්‍ය මහිමයේ බලයෙන් වර්‍ෂ 1923 ඔක්තෝම්බර් 20 දින පෝද්දල පහළ කීඹියේ පුරාණ රජමහා විහාරස්ථානයේ දී ගෞරවාර්‍හ කීඹියේ ශ්‍රී සෝභිත ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ ගෞරවාර්‍හ අක්මීමන සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ ආචාර්‍ය්‍යත්වයෙන් අකුරටියේ අමරවංස නාමයෙන් පැවිදි දිවියට ඇතුළත් විය. පැවිදි දිවියට අවැසි මූලික වත් පිළිවෙත් ගුරු දේවයන් වහන්සේගේ සෙවණෙහි සිට ලැබූ අකුරටියේ අමරවංස හෙරණපාණෝ පිරිවෙන් අධ්‍යයනයට යොමු කරවීමට කාලය එළැඹ තිබෙන බව දැනගත් කීඹියේ සෝභිත හිමිපාණෝ සුභ මුහුර්තයක් බලා තම ගෝල නම එවකට ලක්දිව සුපතල විද්‍යස්ථානයක්ව පැවති කිතුලම්පිටිය් ආනන්ද පිරිවෙණට ඇතුළත් කරණ ලදී. එහි කලක් ඉගෙනීමෙන් පසුව වර්‍ෂ 1936 දී මුන්වහන්සේ විද්‍යොදය පිරිවෙණේ ප්‍රාරම්භ පරීක්ෂණයට ඇතුළත් විය. එවකට විද්‍යොදය පරිවෙණාධිපති ධුරය දැරුවේ පණ්ඩිත ශිරෝමණී ගෞරවාර්‍හ කහවේ ශ්‍රී සුමඞ්ගල රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වූ අතර, උපප්‍රධාන ධුරය හෙබවූයේ බද්දේගම ශ්‍රී පියරතන නාහිමියන් ය. දහසක් පමණ පැවිදි සිසුන් අධ්‍යයනය ලැබූ එකල බුදුරදුන් වැඩ සිටි දෙව්රම් වෙහෙර සිරි විදුදය පිරිවෙණෙහි දිස් විය.
මුන්වහන්සේ උගත් පන්තියෙහි එදා ශිෂ්‍යයන් ලෙස සිටියේ හම්මලව සද්ධාතිස්ස, වෙඬරුවේ අනෝමදස්සි, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි, වැලිගම ඤාණරතන, කොටගම වාචිස්සර වැනි පසු කලෙක මෙරට භික්ෂූන් වහන්සේ අතර ඉහළ පෙළේ වැජඹුන හිමිවරුන් ය. විද්‍යොදය පිරිවෙණේ ශිෂ්‍යයකුට ලබාගත හැකි ඉහළම ත්‍යාගය වන ස්‍යාමරාජ ත්‍යාගය වර්‍ෂ 1942 දී මුන්වහන්සේ දිනාගත්හ. ශිෂ්‍යයන් සිය ගණනක් සිටි පන්තියකින් මෙවැනි ත්‍යාගයක් තමන් සන්තක කරගන්නට කටයුතු කිරීම අතිශය උගහට ය. එහෙත් මුන්වහන්සේ ඒ අපහසු අමාරු කාර්‍ය්‍ය මැනවින් ඉටු කළහ. ප්‍රාචීනභාෂෝපකාර සමාගම මගින් පැවැත්වූ අවසාන විභාගයට ද පෙනී සිට ගෞරව පන්ති සාමාර්ථයක් ලබමින් උභයශේඛර ස්වර්ණ මුද්‍රිකාව හිමිකර ගැනීමට ද මුන්වහන්සේට හැකිවිය.
අධ්‍යයන කටයුතු හමාර කොට ගාල්ලට වැඩම කළ මුන්වහන්සේ විද්‍යාලෝක පිරිවෙණේ උපප්‍රධාන ධුරයට පත්ව වර්‍ෂ 1942 සිට 1952 දක්වා අඛණ්ඩව දශකයකට අධික කාලයක් එහි ශාස්ත්‍ර දානයෙහි නියැළී සිටියහ. වර්‍ෂ 1958 දී ලංකාවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධුරය සඳහා විශාල අයදුම්කරුවන් පිරිසක් අතරින් මුන්වහන්සේ තේරීපත් විය. එහෙත් තමන් වහන්සේ දැරූ විද්‍යාලෝක පරිවෙණාධිපතීත්වයට සුදුස්සෙකු තෝරා පත් කර යාමට තරම් උන්වහන්සේ කෘතඥ වූහ. ඒ සඳහා ශාස්ත්‍රපති, ගෞරවාර්‍හ කනංකේ වජිරඤාණ හිමියන්ට ආරාධනා කොට කැමති කරවාගත්හ. වර්‍ෂ 1958 ජනවාරි 01 දා සිට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක වශයෙන් අකුරටියේ නාහිමියෝ වැඩ භාර ගත්හ.
ධර්මශාස්ත්‍රීය රණභූමියෙහි යෝධයකු වන විද්‍යොදය පිරිවෙණ දෛවයේ නිර්ධය සරදමක් නිසාදෝ පරිහානියට පත්වෙමින් තිබුණි. ඒ පිළිබඳව අවධානය යොමුකළ විද්‍යොදය ආදිශිෂ්‍ය සංගමය සහ විද්‍යාධාර සභාව විද්‍යොදය පරිවෙණාධිපති ධුරය සඳහා සුදුසු තෙර නමක් සෙවීමට කටයුතු කළ අතර, ඒ සඳහා හොඳම සුදුස්සා අකුරටියේ නාහිමියන් බව තීරණය කර ඒ සඳහා ආරාධනා කළේය. ඒ අනුව අකුරටියේ නාහිමියෝ වර්‍ෂ 1978 පෙබරවාරි 01 දා විද්‍යොදය පිරිවෙණට වැඩම කොට භාරදූර විද්‍යොදය පරිවෙණාධිපති ධුරයේ වැඩ භාරගත්හ.
අකුරටියේ අමරවංස හාමුදුරුවෝ බුදුසරණ, දිනමිණ, ලංකාදීප, දිවයින, සිංහල බෞද්ධයා වැනි පත්‍රවලට නිතර ලිපි සැපයූහ. එපමණක් නොව විවිධ සඟරාවලට වැදගත් ධර්මශාස්ත්‍රීය ලිපි සැපයූහ. ග්‍රන්ථකරණයට ද එක්වෙමින් වංසත්ථපකාසිනී නම් මහාවංස ටීකාව සහ දිව්‍යාවදාන සංස්කරණය ද සිරි සුමඟුල් සිරිත නම් පැදි පොතක් ද මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළහ. එමෙන්ම ජනප්‍රිය ධර්මදේශකයාණන් වහන්සේ නමක් ලෙස ජනතා ගෞරවාදරයට ද පාත්‍ර වූහ.
අවුරුදු අනූඅටක් ආයු ශ්‍රී වින්දනය කළ උන්වහන්සේ වර්‍ෂ 2007ක් වූ ජුනි මස 21 වනදා අපවත් වී වදාළහ
පූජ්‍ය බලන්ගොඩ ශ්‍රී සොභිත නාහිමි
2007 සිට ....
ආශ්‍රේය ග්‍රන්ථ
1. ඛේමානන්ද ස්ථවිර හෑගොඩ. දෙයියෝ හෙවත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ., ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. දෙවන මුද්‍රණය. 1996
2. තිලකසිරි, සිරි. 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික අරගල., ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. මුද්‍රණය 2000
3. බුද්ධදත්ත හිමි, පොල්වත්තේ. සමීපාතීතයෙහි බෞද්ධාචාර්‍ය්‍යයෝ., ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. මුද්‍රණය 2010
4. සෝරත, කඩහිංගල. අබේසේකර, පේමරත්න. සංස්කරණය. ශ්‍රී සුමංගල. අනුල මුද්‍රණාලය, කොළඹ 10. 1962
5. විජේනායක, ඇන්. ඒ. වී., ශ්‍රී රත්නසාර චරිතය. 1948.
6. සෝරත ස්ථවිර, පිඹුරේ., අතිගරු කලුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ., රජයේ මුද්‍රණාලය. 1977
7. පඤ්ඤානන්ද ථෙර පරවාහැර, සරණංකර ථෙර ගණේගම. ශ්‍රී ප්‍රියරත්න චරිතාවදානය. අනුල මුද්‍රණාලය කොළඹ 10. 1960
8. සරණංකර ස්ථවිර, ගණේගම. සෝරත නාහිමි සිරිත. රජයේ මුද්‍රණාලය. 1963
9. සුධර්මා ද සිල්වා, ඒ. බී. එල්, මාවතගම, ජගත් ගාමිණී. වැලිවිටියේ ශ්‍රී සෝරත මාහිමි චරිතාවලෝකනය. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩල. 2003
10. රේවත, හික්කඩුවේ, උදිත, හික්කඩුවේ. ශ්‍රී සෝරත සාහිත්‍ය. අනුල මුද්‍රණාලය කොළඹ 10. 1964
11. පියරතන හිමි, වෑගම. විද්‍යොදය ධර්‍මශාස්ත්‍රීය සංග්‍රහය 1997. සුගත ප්‍රින්ටර්ස් මාලිගාකන්ද.
12. පියරතන හිමි, වෑගම. ආදීහු. විද්‍යොදය ධර්‍මශාස්ත්‍රීය සංග්‍රහය 2001.
13. පියරතන හිමි, වෑගම ආදීහු. විද්‍යොදය ධර්‍මශාස්ත්‍රීය සංග්‍රහය. සුගත ප්‍රින්ටර්ස් මාලිගාකන්ද. 2002
14. කෝදාගොඩ, රවීන්., චරිත බිංදු. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල,දෙහිවල. 2023
15. ඤාණවිමල මහානාහිමි, බෙල්ලන. අමරවංස චරිත සරිත්., බෞද්ධ කටයුතු දෙපාර්‍තමේන්තුව. 2007
16. පලිහපිටිය, රංජිත් අමරකීර්ති. අකුරටියේ අමරවංශ නායක හාමුදුරුවෝ. සංස්කෘතික කටයුතු දෙපාර්‍තමේන්තුව. 2003
