HISTORY
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි චරිතය සහ විද්‍යොදය පිරිවෙණ
ප්‍රවේශය
තොටගමුවේ විජයබා පිරිවෙණ, කෑරගල පද්මාවතී පිරිවෙණ, පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙණ ආදි මහා පිරිවෙන් නෂ්ටප්‍රාය වූ පසු බෞද්ධ භික්ෂූන්වහන්සේ පන්සල් ආශ්‍රිතව පවත්වා ගෙන ගිය බෞද්ධ අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛස්ථානයෙහි පැවතියේ වලානේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් විසින් 1841 දී ප්‍රාරබ්ධ රත්මලානේ පරමධම්මචේතිය විද්‍යාස්ථානය යි.
වලානේ හාමුදුරුවෝ මේ පරමධම්මචේතිය විද්‍යායතනයෙන් ශ්‍රේෂ්ඨ පඬිවරු තිදෙනෙක් බිහි කළහ. එනම්, (1) හික්කඩුවේ ශ්‍රී සුමංගල (2) රත්මලානේ ශ්‍රී ධර්මාලෝක (3) දේවරක්ඛිත නමින් පැවිදි ව 1855 දී උපැවිදි වූ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත යන තිදෙනා ය. ශතවර්ෂාධික කාලයක් අභාවයට ගොස් තිබුණු පිරිවෙණ යන නාමයට පුනර්ජන්මයක් ලබා දෙන්නාහු ද අද්‍යතන පිරිවෙන් සන්තතියෙහි ප්‍රථම පිරිවෙණ නිර්මාණය කරන්නාහු ද පූර්වෝක්ත තිදෙනාගෙන් කෙනෙකු වූ සුමංගල නාහිමියෝ ය. සුමංගල නාහිමියන් පිහිටුවා වදාළ ඒ ඓතිහාසික විද්‍යා පීඨය වනාහි ‘විද්‍යොදය පිරිවෙණ’ යි.
උපත
උප්පැන්න සහතිකයේ සුමංගල නාහිමියන්ගේ නම සඳහන් වන්නේ නිකුලස් කියා ය. වලාකුල්ගේ දොන් ජොහානිස් අබේවීර ගුණවර්ධන ලියනආරච්චි රාළහාමිගේත් දණ්ඩන්ගොඩ ගමගේ ක්රිස්තිනාහාමිනේගේත් පවුලේ පස් වැනි දරුවා වූ නිකුලස් 1827 ජනවාරි 20 වැනි දා දකුණු පළාතේ හික්කඩුවේ හෙට්ටිගොඩ දී උපත ලැබී ය. එවක වැදගත් යැයි සම්මත පවුල්වල බෞද්ධයෝ ද සිය දරුවන් බෞතිස්ම කළහ. ක්‍රිස්තියානි නම් ද ගත්හ. අලුත උපන් දරුවාට ‘නිකුලස්’ යන නාමය ලැබුණේ එපරිද්දෙනි. ඒ අනුව දරුවාගේ සම්පූර්ණ නාමය වූයේ දොන් නිකුලස් අබේවීර ගුණවර්ධන ය. ක්‍රිස්තියානි ක්‍රමය අනුව බෞතිස්මය ලබන දරුවන්ට භාරකාර දෙමාපියන් ද අවශ්‍ය ය. ඒ අනුව නිකුලස්ගේ භාරකාර දෙමාපියන් වූයේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ මී මුත්තණු කෙනෙකු වූ දොන් නිකුලස් ප්රදිනන්දිස් උබේසේකර සහ අබේකෝන් ළමාතැනී ය.
නිකුලස් උපන් වේලාව අනුව කේන්දරය සෑදූ නැකැත්කරු කියා සිටියේ එය කාලකණ්ණි කේන්දරයක් බව යි. වාසනා ගුණ හීන – අල්පායුෂ්ක – ශාස්ත්‍රය නො පිහිටන, මහණකමට විනා ගිහිගෙට නො සරිලන දරුවකුගේ කේන්දරයක් බව යි. එහෙත් ගමේ පන්සලේ හික්කඩුවේ සෝභිත නායක හාමුදුරුවන්ගෙන් අකුරු ලිය වූ නිකුලස් හොඳින් ඉගෙන ගන්ට පටන් ගත්තේ ය. නිකුලස්, වැඩිදුර අධ්‍යාපනය සඳහා ගාලු කොටුවේ පිහිටි සෙන්ට්‍රල් කොලීජියට ඇතුළත් කිරීමට මුල දී අදහස් කරගෙන සිටි දෙමාපියෝ පසුව නැකැත්කරුගේ අනාවැකිය සිහිපත් කරමින් එම තීරණය වෙනස් කළහ. නිකුලස් ශාසනයට පූජා කළහ.
ප්‍රව්‍රජ්‍යාව හා ඉගෙනීම් කටයුතු

1840 දී තොටගමුවේ ශ්‍රී රාහුල කවීන්ද්රයාණන්ගේ පාද ස්පර්ශය ලත් තොටගමුව විහාරයේ පෝයගෙය තුළ දී ‘සුමංගල’ යන නමින් නිකුලස් පැවිද්ද ලැබීය. අනතුරුව හෙට්ටිගොඩ තිලකාරාමයෙහි වැඩ වාසය කරමින් රේවත හිමියන්ගෙන් බණ දහම් ඉගෙන ගත්තේ ය. මාපලගම පන්සලේ වස් වසමින් ඉතා දක්ෂ ලෙස ජාතක කථා ආශ්රයෙන් බණ දේශනා කළේ ය. ඒ බණ දේශනා අසා එම පොඩි නම කෙරෙහි පැහැදුණා වූ පළාතේ ඉංග්‍රීසි උගතා වූ ජෝන් කොරනේලිස් අභයවර්ධන මහතා උන්වහන්සේට පුත්‍ර ප්‍රේමයෙන් ඉංග්‍රීසි උගන්වන්ට පටන් ගත්තේ ය. වයස අවුරුදු 17 වන විට සුමංගල සාමණේරයන්ට ව්‍යක්ත ලෙස පාලි භාෂාව ද කථා කරන්නට පුළුවන් විය. සියම් රටින් ලංකාවට වන්දනාවේ ආ භික්ෂූන් පිරිසක් ගාල්ලට වැඩම කළ අවස්ථාවේ දී ඉංග්‍රීසි නො දත් ඔවුන් හා පාලි භාෂාවෙන් කතා කරමින් සුමංගල සාමණේරයෝ විස්මිත භාෂා පරිවර්තන කාරියක් කළහ. ඉගෙනීමෙහි දක්ෂතා දක්වන්ට වූ සුමංගල හිමියන් පානදුරයට කැඳවා ගෙන ගිය ගුරු දෙගුරුහු උන්වහන්සේ මහාපඬිවර වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් වෙත භාර කළහ. වලානේ හාමුදුරුවෝ සුමංගල හිමියන් පරමධම්මචේතිය විද්‍යාපීඨයට බඳවා ගත්හ. වලානේ හාමුදුරුවන්ගේ ශිෂ්‍යයකු වීමෙන් සුමංගල හිමියෝ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවට ද සම්බන්ධ වූහ. ඒ මෙනයිනි. ඉගෙන ගත්තේ ඉඳුරුවේ සුමංගල සහ ගාල්ලේ මේධංකර යන හිමිවරුන්ගෙන් ය. ඒ හිමිවරු වනාහි සංඝරාජ හිමියන්ගේ ද ශිෂ්‍යයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ශිෂ්‍යයෝ ය.
සුමංගල නාහිමියෝ පරමධම්මචේතියෙහි වැඩ වාසය කරමින් රත්මලානේ ශ්‍රී ධර්මාලෝක, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත යන හිමිවරුන් සමඟ පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා ද තර්ක ඥානය, ගණිතය වැනි විෂයයන් ද මැනවින් ප්‍රගුණ කළහ.
උපසම්පදාව

සුමංගල හිමියන් 1848 මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබුවේ සාමණේර බණ දහම් පොත, පිරිත් පොත, ධම්මපදය පමණක් නො ව පරිවාර පාළිය ද කට පාඩමින් ඉදිරිපත් කරමිනි. ඒ අවස්ථාවේ සංඝසභාවට ඉදිරිපත් කිරීම සඳහා පාලි ගාථා අෂ්ටකයක් සම්පාදනය කරගෙන ගොස් සංඝසභාව වෙත ඔප්පු කොට ඇත. එම ගාථා පංතිය මෙසේ ය.
1 පුණ්ණින්දූ හර නීරදාමල යසො සංසුද්ධ වණ්ණාකරො
තං හිත්වාන යසොධරං සිරිධරං පිණොරු ථඤ්ඤුද්ධරං
පුත්තඤ්චාපි විසිට්ඨ සුන්දරතරං යො නික්ඛමං නික්ඛමි
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
2 බ්රහ්මින්දාදි සුපූජිතො ජයබලං සම්පත්තකො විස්සුතො
හන්ත්වා යො සකලෙ කිලෙසඅරයො ඤෙය්යං ඛිලං බොධි යං
බුද්ධො යෙන මහාජනො ච අභයං මග්ගං සුභං පාපුණි
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
3 සම්බුද්ධො දීපදුත්තමො හත්තමො ලොකුත්තමො සත්තමො
යො ලොකෙක දිවාකරො හිතකරො සද්ධම්ම දීපංකරො
ලොකෙ චාහු පුරින්දාදාදිහි තදා සම්පූජිතො පූජියො
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
4 බුද්ධො බොධයිතො ජනානමතදො පුඤ්ඤාත්ථිනං කාමදො
මුත්තො මොචයතො සුකොකිලරවො වාදීභ කණ්ඨීරවො
යො වත්තෙසි සුධම්මචක්ක පවරං ලොකෙක සංධාවිතො
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
5 යො සබ්බාසව වග්ග නීත විලයො නිස්සෙස ධූතාලයො
කම්මාද්යාඛිල වට්ටදුක්ඛ පනුදො පජ්ජුන්න දප්පං නුදො
ගන්ත්වා තීහි පාදෙහි වාසවපුරං දෙසෙසි ධම්මං පුරෙ
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
6 හාරින්දිවර සන්නිකාස නයනො පුණ්ණින්දු තුල්යානනො
කාරුඤ්ඤාමල වාරි ධොත හදයො යො සබ්බලොකෙ දයො
යක්ඛං ආලවකං අඛන්තී ලවකං ඝොරං දමෙසී දමො
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
7 ලොකාලංකාරණො තිපඤ්ච චරණො ධඤ්ඤාතිධඤ්ඤො ජිනො
ආගන්ත්වා සුමනෙන චෙත්ථ පවරං පාදංකිතං යාචිතො
දෙවින්දෙන සමන්තකූට සිඛරෙ දස්සෙසි යො නායකො
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
8 චන්දාදිච්ච සහස්ස නින්දිත පභො ඡබ්බණ්ණ රංස්යාලයො
ඉන්දාදි මකුටංකිතංඝී කමලො යො සාධු ධොතම්මලො
ලොකං වෙනයිකං විනෙසි සකලං දෙසෙත්ව ධම්මංකලං
නාථං හත්ථයුගං සදා සිරසි තං කත්වාන සාධුං නමෙ
මෙම ප්‍රබන්ධය කෙරෙහි සංඝසභාව සැක කළ හෙයින් හිටිවන පාලි ශ්ලෝක පංක්තියක් ද පුස්කොළ පත් ඉරුවල ලියා දක්වා ඇත. ‘මහානායක මාහිමියන් වහන්සේ’ යන මාතෘකාව යටතේ ප්‍රබන්ධ කරන ලද එම ගාථා පංක්තිය මෙසේ ය.
1 පුණ්ණින්දු හාර හර පාරද නීරදාලී
සංකාස කිත්ති විසරං ජනසෙවනීයං
සෙංඛණ්ඩ සෙල මහිධෙය පුරාධිවාසං
වන්දෙ සුමංගල යතින්ද පතිං වදාහං
2 සෙංඛණ්ඩසෙල නගරම්බර පාතුභූතං
සිස්සොළු සංඝ නිවුතං සුචි සීලරංසිං
සජ්ජන්තු කුන්ද විපිනං පරිතොසයන්තං
වන්දෙ සුමංගල යතින්ද පතී සසංකං
3 සජ්ජනතුභිංග සත සංඝ නිසෙවිතං තං
සද්ධාද්යනෙක ගුණගන්ධ වරප්පතීතං
පුබ්බෙ කතාමිත සුපුඤ්ඤභිසාභිජාතං
වන්දෙ සුමංගල යතින්ද පතී සරොජං
4 සද්ධාලතා සමහිලිංගික කිත්ති පුප්ඵං
සීලොරු ඛන්ධ පවරං කත පුඤ්ඤමූලං
විජ්ජා සුපල්ලව සුසජ්ජිත ඤාණසාඛං
වන්දෙ සුමංගල යතිපති කප්පරුක්ඛං
මේ අවස්ථාවේ ඊට පැහැදුණු අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ අටපිරිකරක් ගෙන්වා ගෙන සුමංගල නවක භික්ෂුවට පිළිගන්වා තමන් වහන්සේගේ ප්‍රසාදය පළ කොට ඇත. උපසම්පදාවෙන් අනතුරු ව හෙට්ටිගොඩ තිලකාරාමයේත් ගාල්ලේ බෝගහවත්තේ සුදර්ශන පරමානන්ද විහාරයේත් වැඩ වාසය කළ සුමංගල නාහිමියෝ 1862 දී ගාලු බෞද්ධයන් ලවා ‘ලංකෝපකාර’ නම් මුද්‍රණාලය පිහිටුවන්ටත් ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වූ ‘ලංකාලෝකය’ සහ ‘සුදර්ශන’ නම් සඟරාව පළ කරවන්ටත් පුරෝගාමී වූහ.
ශ්‍රී පාදස්ථානයෙහි අධිපතිකම හා ත්‍රිපිටක ධර්ම සංගායනාව
ශ්‍රී පාදස්ථානයෙහි අධිපතිකම් කළ භික්ෂූන් වහන්සේගේ අශ්රාමණික ක්‍රියා හේතු කොටගෙන 1866 දී උන්වහන්සේ එම ධුරයෙන් පහ කෙරුණු අතර සබරගමු පළාතේ බෞද්ධ ප්‍රභූන් එම ධුරය භාර ගන්නා ලෙස ඇරැයුම් කර සිටියේ ආචාර්ය පරම්පරාවෙන් හෝ ඥාති පරම්පරාවෙන්වත් පළාත් වශයෙන්වත් ශ්‍රී පාදස්ථානය හා සම්බන්ධ නැති සුමංගල නාහිමියන්ට ය. ඇරැයුම බැහැර කරන්නට නො හැකි තැන එම නිලය භාර ගත් නමුත් එනිසා අර්බුද රැසකට මුහුණ පාන්ට සුමංගල නාහිමියන්ට සිදු විය. ඊට හේතුව හිටපු අධිපති හිමියන් සුමංගල නාහිමියන්ට එරෙහි ව රත්නපුර දිස්ත්‍රික් උසාවියේ නඩු කියා ජයග්‍රහණය කිරීම යි. ඇපෑලෙන් සුමංගල නාහිමියන් ජය ගත් මුත් උන්වහන්සේ විසින් සිය ධුර කාලය වසරකට සීමා කරන ලදි.
පැල්මඬුල්ලේ පුරාණ විහාරය, කුට්ටාපිටිය විහාරය ආදිය ශ්‍රී පාදස්ථානයේ නායක ධුරය දරණ සමයෙහි සුමංගල නාහිමියන් වැඩ විසූ තැන් ය. එසේ වැඩ වසන කල ඉද්දමල්ගොඩ බණ්ඩාර නිලමේගේ ඇරැයුමෙන්, වලානේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්, සියම්-අමරපුර දෙනිකායේ භික්ෂූන් දස නමකගේ සහභාගිත්වයෙන් පැල්මඬුල්ලේ ත්‍රිපිටක ධර්ම සංගායනාවක් ඇරඹුණු අතර වලානේ හිමියන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන ඊට නායකත්වය සපයන්නට සිදු වූයේ සුමංගල නාහිමියන්ට ය. මෙසේ ශුද්ධ කළ ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියා තබන ලදි.
පරමධම්මචේතිය පිරිවෙණාධිපති ධුරය

වළානේ ශ්‍රී සිද්ධාර්ථ මහා පඬිවරයාණන්ගේ අපවත් වීමෙන් හිස් වූ පරමධම්මචේතිය විද්‍යාස්ථානයේ ප්‍රධානාචාර්ය ධුරය භාර ගනිමින් සුමංගල නාහිමියෝ රත්මලානට වැඩම කළහ. මෙ සමය වන විට සුමංගල නාහිමියන් තුළ එක්තරා අපේක්ෂාවක් මෝදු වෙමින් පැවතිණ. එනම්, යම් දිනයක කොළඹ ප්‍රදේශයෙහි බෞද්ධ අධ්‍යාපන පීඨයක් ආරම්භ කිරීම යි. උන්වහන්සේ කොළඹ සිට සිය හිත මිත්‍ර ප්‍රභූවරයකු වූ ද සුප්‍රකට ජ්යොතිෂ්ශාස්ත්රඥයකු වූ ද දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි වෙත වරක් ලිපියකින් දන්වා යැව්වේ ‘අප්පුහාමි, මට ඉගැන්වුමට කොළඹින් පැලක් ලැබුණත් ඇත’ කියා ය.
ඒ වනාහි අබෞද්ධ බලවේග විසින් පීඩාවට පත් කරනු ලැබ සිටි කොළඹ බෞද්ධයන්ට ගුණ ගරුක, යුක්ති ගරුක, නායකත්ව ලක්ෂණ සහිත, අභීත, ක්‍රියාශීලී හිමිනමක් අවශ්‍ය වී තිබුණු කාලය යි. ඒ අවශ්‍යතාව සපුරා ලීම් වස් ඈපා අප්පුහාමි ප්රමුඛ කොළඹ ප්රභූන්ගේ ඇරැයුමින් 1870 දී සුමංගල නාහිමියෝ රත්මලානෙන් කොළඹ කොටහේනේ පරමානන්ද විහාරස්ථානයට වැඩම කළහ.
විද්‍යොදය පිරිවෙණ පිහිටුවීම – (විජ්ජා උප්පතතං සෙට්ඨා)
ලන්සගේ දොන් අන්ද්‍රිස් ප්‍රේරා අප්පුහාමි නම් බෞද්ධ ප්රභූවරයාට අයත් මනරම් භූමි භාගයක් කොළඹ, මාලිගාකන්දේ තිබුණේ ය.
ඒ වනාහි ‘පාම් හවුස්’ නම් මන්දිරයක් ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයක් සහිත කුඩා වනරොදකි. පරමානන්ද විහාරස්ථානයෙහි සිට වස් විසීම සඳහා එතැනට වැඩම කළ සුමංගල නාහිමියන්ට හැඟී ගියේ එතැන සිය අධ්‍යාපන පීඨය ස්ථාපිත කිරීමට යෝග්‍ය ස්ථානය බව යි.
සුමංගල නාහිමියන්ට ඉගැන්වීමේ කටයුතුවල යෙදීම සඳහා කොළඹින් පැලක් හෝ අටවා දීමට සූදානමින් සිටි ඈපා අප්පුහාමි උන්වහන්සේගේ අභිලාෂය ඉෂ්ට සිද්ධ කර දීමට උත්සුක වූයේ ය. මාලිගාකන්දේ ඉඩම හිමි අන්ද්‍රිස් ප්‍රේරා අප්පුහාමි, රුපියල් හයදාහකට එය විකුණන්ට කැමති විය. ඉඩම මිල දී ගැනීම සඳහා සුමංගල හිමියන්ගේ උපදෙස් පරිදි ඈපා අප්පුහාමි සහ ඉඩම් හිමි අන්ද්‍රිස් ප්‍රේරා ඇතුළු 13 දෙනකුගෙන් සමන්විත ‘විද්‍යාධාර සභා’ නම් ආයතනයක් පිහිටුවා ගන්නා ලදි. මේ දහතුන් දෙනා නම්
- 1. දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි
- 2. ලන්සගේ දොන් අන්ද්‍රිස් ප්‍රේරා අප්පුහාමි
- 3. කලන්සූරිය ආරච්චිගේ දොන් කොර්නේලිස් ද සිල්වා අප්පුහාමි
- 4. ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි
- 5. බුලත්සිංහලගේ කොර්නේලිස් කුරේ අප්පුහාමි
- 6. දොන් තෝමස් වීරක්කොඩි අප්පුහාමි
- 7. විල්ලෝරආරච්චිගේ කොර්නේලිස් ප්‍රේරා අප්පුහාමි
- 8. පට්ටියවත්තගේ හෙන්ද්‍රික් ප්‍රේරා අප්පුහාමි
- 9. සයිමන් සිල්වා අප්පුහාමි
- 10. හේවාවිතාරණගේ දොන් කරෝලිස් අප්පුහාමි
- 11. වෙත්තසිංහගේ දොන් කොර්නේලිස් සිල්වා අප්පුහාමි
- 12. ලන්සගේ සීමන් ප්‍රේරා අප්පුහාමි
- 13. පාමංකඩ පදිංචි සමරසිංහ ආරච්චිගේ දොන් හරමානිස් අප්පුහාමි යන බෞද්ධ ප්රභූහු ය.
ඩබ්ලිව්. පී. රණසිංහ නොතාරිස් තැන ඉදිරිපිට 1873. 12. 06 වැනි දා ඉඩම් අයිතිකරු සහ විද්‍යාධාර සභාව යන දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලද ඔප්පුව, මෙරට පිරිවෙන් ඉතිහාසයෙහි වැදගත් ලේඛනයක් වන්නේ ශතවර්ෂාධික කාලයකට පසු බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ‘පිරිවෙණ’ යන නාමයෙන් එහි දී හඳුන්වා ඇති බැවිනි. මතු දැක්වෙන උද්ධෘත එම ඔප්පුවෙන් උපුටා ගත් ඒවා ය. එමගින් නව පිරිවෙනෙහි සංයුතිය ගැන කරුණු ද අනාවරණය වේ.
(1) මහණුන්නාන්සේලා පෙරදැරිකොට ගෘහස්ථයින්ටත් බුද්ධාගමානුකූල ශාස්ත්‍රාදිය උගන්වන පිරිවෙනක් සම්පාදනය කරනු සඳහා…
(2) මෙම පිරිවෙන චිරකාලයක් ස්ථිර ව පැවැත්ම පිණිස උවමනා සියලු කටයුතු මෙම සභාවේ දහතුන්දෙනා විසින් අන්‍යයන්ගේ උපකාර ඇතුව හෝ නැතුව කර දෙන්ට මෙයින් එක් එක්කෙනා උනුනුන් හා පොරොන්දු වී ගිවිස ගත්හ.
(3) මෙම පිරිවෙනේ කලින් කලට කළ යුතු අලුත්වැඩියා කිරීම් ආදි යම් වැඩක් ඇද්ද ඒ සියල්ල මේ දහතුන්දෙනාගේ සම්මතය පිට සියල්ලන්ගේ පහසුව පිණිස අප්‍රමාද ව කටයුතු ය.
(4) මෙම දහතුන්දෙනාට පිරිවෙනේ ඉගැන්වීම් ආදිය කරන ගුරුවරුන් පත් කරන්ට පුළුවන්වා සේ ම එයින් කෙනෙකුගේ නුසුදුසුකමක් හෝ වරදක් පෙනී ගියහොත් නෙරපා, වෙන අය පත් කරන්ටත් පුළුවන් බලය ලබා ගත්තා ඇත.
(5) මෙම සභාවේ දහතුන්දෙනා ජීවත් ව සිටින සෑම කල්හිම, එයින් හත් දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් සභාවට පැමිණ සිටියොත් ඔවුන්ට මුළු සභාවේ බලය පවත්වන්ට පුළුවන් බවටත් පිරිවෙන් කටයුතු ගැන ඔබිනා නියෝග පණවන්ට පුළුවන් ලෙසටත් ගිවිස ගත්තා ය.
මෙකී ඔප්පු ප්‍රකාර සුමංගල නාහිමියන් අරඹන්ට යන මේ ‘පිරිවෙන’ වූ කලි ඇතැම් කාරණා හේතු කොට ගෙන පැරණි පිරිවෙන්වලට වඩා වෙනස් වූ ආයතනයක් විය. පැරණි පිරිවෙන් සියල්ල ඇරඹුණේ විහාරස්ථානවල ය.

විහාරාධිපතිතැන ම පරිවේණාධිපති විය. එම අධිපතිකම හිමි වූයේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය. මේ අලුත් පිරිවෙන පාලනය කරන්නේ ගිහියන් කණ්ඩායමකි. පිරිවෙනට ගුරුවරුන් පත් කිරීමේ බලතල මෙන් ම නෙරපා හැරීමේ බලතල ද ඔවුන් සතු ය. ඔවුන් ඉඩම් කට්ටියක් මිල දී ගන්නේ විහාරස්ථානයක් ඉදි කරන්ට නො ව අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්ට ය.
ඔප්පුව අත්සන් කරද්දී යෝජිත පිරිවෙනට නමක් තිබුණේ නැත. සුමංගල හිමියන් විසින් ඊට ‘විද්‍යොදය’ යන නාමය තබන ලද්දේත් (‘විද්‍යෝදය’ යනුවෙන් අප උච්චාරණය කරන වචනය, පාලි ක්‍රමය අනු ව ලියනුයේ ‘විද්‍යොදය’ කියා ය.) එහි ආර්ශ පාඨය ලෙස ‘විජ්ජා උප්පතතං සෙට්ඨා’ (නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය) යන බුදු වචන තෝරා ගන්නා ලද්දේත් එයින් පසු ව ය.
’විද්‍යොදය’ යන වචනය, විද්‍යොදය පිරිවෙණෙහි නිල ප්රකාශනය වූ ‘විද්‍යොදය’ සඟරාවේ 1926 ජනවාරි 15, අංක 01 දරණ කලාපයෙහි කතුවැකියෙන් නිර්වචනය කෙරුණේ මෙ ලෙස ය.
“යහපත අයහපත දැන ගැනීමට ඉවහල් වූ සියල්ලම විද්‍යා යි. ඥාන යනු ද ඊට පර්යායයෙකි. උත්පත්තියෙන් ලැබෙන ඥානයක් සියලු දෙනාට ම ඇත්තේ යි. ඒ වනාහි ඔවුනොවුන්ගේ කර්ම නානත්වයෙන් නා නා විධ වේ. ඒ ඥාන සංඛ්‍යාත විද්යාහුගේ වැඩීමට ඉවහල් වූ යමක් වේ නම් ඒ ‘විද්‍යොදය’ යි කිය යුතු වේ.”
සුමංගල නාහිමියන් ‘විජ්ජා උප්පතතං සෙට්ඨා’ යන බුදු වදන උපුටා ගත්තේ සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ වුට්ඨි සූත්‍රයෙනි. වුට්ඨි සූත්‍රයට අනු ව දෙවිකෙනෙකුන් විසින් අනෙක් දෙවි කෙනෙකුන්ගෙන් මෙබඳු ප්‍රශ්නයක් අසන ලදි.
කිං සු උප්පතතං සෙට්ඨං කිං සු නිපතතං වරං
කිං සු පවජමානානං කිං සු පවදතං වරන්ති
(නැඟගනුවන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ ද? හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම් ද? පයින් ගමන් කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? කථා කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද?)
එවිට අනෙක් දෙවියෝ ඊට මෙසේ පිළිතුරු දුන්හ.
බීජං උප්පතතං සෙට්ඨං වුට්ඨි නිපතතං වරා
ගාවො පවජමානානං පුත්තො පවදතං වරොති
(නැඟගනුවන් අතුරෙන් බිජුවට ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් වැස්ස උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් ගවයෝ උතුම් ය. කථා කරන්නවුන් අතුරෙන් පුත්‍රයා උතුම් ය.)
භාග්‍යවතුන්වහන්සේගේ පිළිතුර වූයේ මෙය යි.
විජ්ජා උප්පතතං සෙට්ඨා අවිජ්ජා නිපතතං වරා
සංඝෝ පවජමානානං බුද්ධො පවදතං වරෝති
(නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් අවද්යාව උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් සංඝයා උතුම් ය. කථා කරන්වුන් අතුරෙන් බුදුරජ උතුම් ය.)
පූර්වෝක්ත ‘විද්‍යොදය’ සඟරාවේ කතුවැකියෙන් මේ ආදර්ශ පාඨය විග්රහ කරනුයේ මෙ පරිද්දෙනි. “ලෝකයෙහි වැඩිය යුතු බොහෝ දේ ඇතත් විද්යාහුගේ වැඩීම සෙසු සියලුම වැඩීම්වලට වඩා ශ්‍රේෂ්ඨ වේ. ඒ බැව් ‘විජ්ජා උප්පතතං සෙට්ඨා’ යන බුද්ධ වචනයෙන් ප්‍රකාශිත යි. සර්වොත්කෘෂ්ට වූ විද්‍යාව වනාහි ලෞකික ලෝකෝත්තර වශයෙන් පෙපරිදි වේ. පූර්වෝක්ත බුද්ධ වචනයෙන් ප්‍රකාශිත වූයේ අර්හත් මාර්ග ඥාන සංඛ්‍යාත ලෝකෝත්තර විද්‍යාව යි. ඒ පරමාර්ථ වශයෙනි. නිසි මඟ වැඩෙන ලෞකික විද්‍යාව ද ඒ ලෝකෝත්තර විද්‍යාව ලැබීමට හේතු වේ. එබැවින් සියලු දෙනා විසින් පළමු කොට ලෞකික විද්‍යාව වඩා ගත යුතු යි.”
1873 දෙසැම්බරයේ දී ශිෂ්‍යයන් 07 දෙනෙකුගෙන් විද්‍යොදය පිරිවෙණ ආරම්භ කරන ලදි. විද්‍යොදය පිරිවෙණ ආරම්භ කොට දෑවුරුද්දක් ඇවෑමෙන්, එනම් 1875 දී වලානේ හාමුදුරුවන්ගේ අනෙක් ශ්‍රේෂ්ඨ ගෝලනම වූ ද පරමධම්මචේතියෙහි දී සුමංගල නාහිමියන් සමඟ ශිල්ප ශාස්ත්‍ර හදාළා වූ ද රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියෝ පෑලියගොඩ විද්‍යාලංකාර නම් වූ විද්‍යා පීඨය ආරම්භ කළහ. ආරම්භක අවස්ථාවේ දී එය ‘විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව’ නමින් හැඳින්වුණු අතර පසුව ‘විද්‍යාලංකාර පිරුවන’ යන නමින් හඳුන්වන ලදි.
විද්‍යාධාර සභාව ඔප්පුවට අත්සන් තැබූ දා ඉඩම් අයිතිකරුට මුදල් ගෙවුයේ නැත. එයින් වසර කිහිපයකට පසු ඒ දක්වා සම්මාදම් කර ගත් මුදල වූ රු. 2070/= ක් ඉඩම් අයිතිකරුවට ගෙවූ අතර තවත් රු. 3930/= ක්

ගෙවිය යුතු විය. වසර 05ක් තුළ විද්‍යොදය පිරිවෙණ ලබා ඇති දියුණුවත් සුමංගල නාහිමියන්ගේ සුවිශිෂ්ට ක්‍රියා කලාපයත් කෙරෙහි බෙහෙවින් පැහැදී සිටි ඉඩම් අයිතකාර අන්ද්‍රිස් ප්‍රේරා අප්පුහාමි ඉතිරි මුදල නො ගෙන ම සිය ඉඩම සඟ සතු කොට පූජා කරන්ට තීන්දු කළේ ය. ඒ අනු ව 1876 මාර්තු 09 වැනි දා ඩබ්ලිව්. පී. රණසිංහ ප්‍රධාන නොතාරිස් තැන විසින් ලියන ලද අංක 1265 දරණ ‘විද්‍යොදය පිරිවෙණ, විද්‍යාධාර සභාව පිහිටුවීමේ දෙවන ඔප්පුව’ නමැති ලියවිල්ලෙන් මුළු ඉඩම පිරිවෙනට පවරා දෙන ලදි. මතු දැක්වෙනුයේ එම ඔප්පුවේ උද්ධෘතයකි.
“රුපියල් 6000ක් වටිනාකම් ඇති කොළඹ දෙමටගොඩ තිබෙන මාලිගාකන්ද නම් වූ පළමුවෙනි පක්ෂයට අයිති ඉඩමේ තනා තිබෙන ශාලාවල ගිහි පැවිදි දෙපක්ෂයට බුද්ධාගම සහ වෙනත් ශාස්ත්‍ර උගන්වන පිණිස විද්‍යොදය පිරිවෙණ නම් ශාස්ත්‍ර ශාලාවක් දෙවෙනි පක්ෂය විසින් තබන ලද හෙයින් ද එම ස්ථානය මිලේට ගෙන පිරිවෙන චිරකාලයක් පැවැත්වීම උදෙසා දෙවෙනි පක්ෂය විසින් රුපියල් 6000/=ක් සම්මාදම් කරන්ට පොරොන්දු වූණේ වී නමුත් රුපියල් 2070/=ක් පමණක් සම්මාදම් කර ඉතිරි මුදල රුපියල් 3930/= සම්මාදම් කර ගන්ට නො ලැබුණු බැවින් ද ඉහත කී දෙවෙනි පක්ෂය විසින් පළමුවෙනි පක්ෂයට ගෙවන්ට යෙදුණු රුපියල් 2070/= කරණ කොට ගෙන ද බුද්ධාගමට තිබෙන ළැදිකම කරණ කොට ගෙන ද වෙනත් නොයෙක් කාරණා කරණ කොට ගෙන ද, ඉඩම සහ එකී තනා තිබෙන දේවල් ආදියත් සමඟ ඉහත කී පරිවේණාධිපති සිප්කඩුවේ සුමංගලාභිධාන නායක ස්ථවිරයන්වහන්සේ ප්රමුඛ කොට ඒ ඇවෑමෙන් එම පිරිවෙනේ අධිපති තනතුරට පැමිණෙන සංඝයාවහන්සේ යම් තාක් කල් දැහැමින් කල් යවන සේක් නම්, ඒ තාක් කල් විද්‍යොදය පිරිවෙණ තබා සෑම දේශවල සෑම භක්තිවල ම ගිහි පැවිදි දෙපක්ෂයට ම කිසි වෙනසක් නැති ව ඔවුන් යහපත් සේ කල් යවන තෙක් උගන්වන පිණිසත්, භුක්ති විඳින පිණිසත් සදාකාලෙට ම සාංඝික කොට මෙයින් දෙන්නේ ය. දුන්නේ ය. පාවා දෙන්නේ ය. පාවා දුන්නේ ය. භාර දෙන්නේ ය. භාර දුන්නේ ය.”
විද්‍යොදය පිරිවෙණ ආරම්භක අවධියේ අධ්‍යාපන පටිපාටිය
විද්‍යොදය පිරිවෙණ ආරම්භයේ දී එහි ඉගැන්වූයේ සිංහල, පාලි, සංස්කෘත භාෂාත් බුද්ධ ධර්මය, ආයුර්වේදය, ජ්‍යොතිෂය, ගණිත මිණිත විද්‍යා ආදියත් ය. ගිහියන් පෙරවරුවේ ද භික්ෂූන්වහන්සේ පස්වරුවේ ද පන්තිවලට ආ අතර පන්තියක කාලය පැය 02ක් විය. භික්ෂූන්ට බුද්ධ ධර්මය අනිවාර්ය වූ අතර ගිහියන්ගේ ප්‍රධාන විෂය වූයේ ආයුර්වේදය යි.
අභාවප්‍රාප්ත පිරිවෙන් අධ්‍යාපනය පුනරුත්ථාපනය කරද්දි විෂය මාලා සකස් කිරීම, පරිශීලනීය ග්රන්ථ තෝරා ගැනීම මෙන් ම ගුරුවරුන් බඳවා ගැනීම ද තීක්ෂ්ණ ව කළ යුතු විය. උගතුන් ද පොතපත ද දුර්ලභ යුගයක එම කාරිය මැනවින් ඉටු කළ සුමංගල හිමියෝ පන්සල් අධ්‍යාපනයෙහි එතෙක් නො පැවති වාර්ෂික පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමයක් විද්‍යොදය පිරිවෙණෙහි ඇති කළහ. පිරිවෙනෙහි සියලු ආචාර්යවරු භික්ෂූහු වූහ. උන්වහන්සේට වැටුප් හෝ දීමනා තිබුණේ නැත. දානපතීහු සිවුපසයෙන් උන්වහන්සේට සංග්‍රහ කළහ.
රජයේ රැකී රක්ෂා නො ලැබෙන, නිලතල නො ලැබෙන, උසස්වීම් නො ලැබෙන ප්‍රාචීන භාෂා විද්‍යාස්ථානයක් ආරම්භ කර පවත්වා ගෙන යෑමේ අභියෝගය සුමංගල නාහිමියන් අභිමුව විය. ආරම්භක අවදියෙහි පරමධම්මචේතියේ පවා සිටියේ ශිෂ්‍යයන් 20ක් පමණ ය. විහාරස්ථානවල පවත්වා ගෙන ගිය ඇතැම් පාඨශාලාවල සිටියේ දහ දොළොස් දෙනෙකි. හත් දෙනකුගෙන් ඇරඹූ පිරිවෙනෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැංවීමටත් 1887 දී පරමධම්මචේතිය පිරිවෙණෙන් ආරම්භ වූ විද්‍යොදය පිරිවෙණේ ශාඛා සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ නැංවීමටත් සුමංගල නාහිමියෝ සමත්වූහ.
සුමංගල නාහිමියෝ ප්‍රාචීන භාෂා මෙන් ම ඉංග්‍රීසි භාෂාව ද පොතක් පතක් කියවා වටහා ගන්ට තරම් ප්‍රංශ, ජර්මන් භාෂා ද දැන සිටියහ.
කාලයාගේ ඇවෑමෙන් විද්‍යොදය පිරිවෙණ, පාලි භාෂාව සහ ස්ථවිරවාදී බෞද්ධ දර්ශනය ඉගැන්වීම සම්බන්ධයෙන් සමස්ත ආසියාවේ විශිෂ්ටතම විද්‍යායතනය බවට පත් වූයේ ය. විද්‍යොදය පිරිවෙණෙහිත් එහි ප්රධානාචාර්යවරයා වූ සුමංගල නාහිමියන්ගේත් යශෝ ඝෝෂාව ලොව පුරා පැතිරෙන්ට වන. 1888 පටන් විදේශ ශිෂ්‍යයෝ ද විද්‍යොදය පිරිවෙණට එන්ට පටන් ගත්හ. ඔවුනතර ජපන් රටින් ථෙරවාදය ඉගෙන ගැනීමට පැමිණි කොජින් නමැති මහායාන භික්ෂුව, පාලි භාෂාව හා බුද්ධ ධර්මය ඉගෙනීමට පැමිණි කොජිමා කොණ්ඩඤ්ඤ නමැති භික්ෂුව, තචිබානා නමැති භික්ෂුව (පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු ව ඔසාකා විශ්වවිද්‍යාලයෙහි පාලි මහාචාර්ය ධුරයත් පත් විය.) සහ සතෝ නම් ගිහි පඬිවරයා ද දඹදිව කොසඹෑනුවරින් පාලි භාෂාව ඉගෙනීමට පැමිණ සුමංගල හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස කෝසම්බික ධම්මානන්ද නමින් පැවිදි වූ සංස්කෘත භාෂා විශාරදයා ද කල්කටාවේ සිට ඉන්දීය රජයේ වියදමින් පාලි භාෂාව හා බුද්ධ ධර්මය ඉගෙනීමට පැමිණි සතිස්චන්ද්‍ර විද්‍යාභූෂණ නමැති සංස්කෘත මහාචාර්යවරයා ද ගුජරාටයෙන් පැමිණි කේවරදාස, හරගෝවින්ද සහ ඇන්. කේ. භගවත් ද මයිසූරයෙන් පැමිණි ද්‍රවිඩ ජාතික විමලබුද්ධි භික්ෂුව ද බෙංගාලයේ ශාන්ති නිකේතනයේ සිට රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ උපදෙස් පරිදි අභිධර්මය ඉගෙන ගැනීමට පැමිණි නිත්‍යානන්ද ගෝස්වාමි නමැති පඬිවරයා ද වුකුං අමරාභිරක්ෂිත, ප්රාමහාකණ්ඨාචාර යන සියම් ජාතික භික්ෂූහු ද වෙති.


පාලි භාෂාව හොඳින් දන්නා භික්ෂුවක් සොයා ගැනීම කළුනික සොයන්නා සේ අසීරු වූ යුගයක විද්‍යොදය පිරිවෙණින් බිහි වූ මහගොඩ ශ්‍රී ඥානේශ්වර, හෙය්යන්තුඩුවේ සිරි දේවමිත්ත, බිහල්පොල සිරි දේවරක්ඛිත, කහවේ සිරි රතනසාර, බෝරුග්ගමුවේ සිරි රේවත, බෙන්තර සිරි සරණංකර, යගිරල පඤ්ඤානන්ද ආදි ප්‍රාචීන භාෂා විශාරද මහතෙරවරු ද චරක සුශ්රැතාදී ආයුර්වේද ග්රන්ථයක් කියවා වටහා ගත හැකි වෛද්‍යවරයකු සොයා ගත නුහුණු යුගය විද්‍යොදය පිරිවෙණින් බිහි වූ (පසු කාලයේ දී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයාධිපති බවට හා උත්තර මන්ත්‍රී මණ්ඩල සාමාජිකයකු බවට පත් වූ) ජී. පී. වික්‍රමාරච්චි වෙද මහතා ඇතුළු ජේ. පී. ජයතිලක, ජේ. ඇස්. ජයසුන්දර වැනි වෛද්‍යවරු ද සරසවි සඳරැස පත්‍රයේ ආරම්භක කර්තෘ වේරගම පුංචි බණ්ඩාර සහ ඔහුගේ ඇවෑමෙන් කර්තෘ ධුරයට පත් වූ තෝමස් කරුණාරත්න වැනි පත්‍ර කර්තෘවරු ද විද්යොදයෙහි තරම ලොවට කියා පෑහ.

විද්‍යොදය පිරිවෙණෙහි ප්‍රථම ත්‍යාග ප්රදානෝත්සවය පවත්වන්ට යෙදුණේ එවක ලංකාණ්ඩුකාරයා වූ ශ්‍රීමත් හෙන්රි විලියම් ග්‍රෙගරිගේ ප්‍රධානත්වයෙනි. ඒ 1876 දී ය. විද්‍යොදය පිරිවෙණ සිදු කරමින් තිබෙන්නා වූ ශාස්ත්‍රීය සේවාව සියැසින් දැක පැහැදුණු ආණ්ඩුකාරයා රු. 600/=ක වාර්ෂික දීමනාවක් නිර්දේශ කළේ ය. ඉංග්‍රීසි පාලනය යටතේ ප්‍රාචීන විද්‍යායතනයකට පිරිනැමුණු ප්‍රථම පරිත්‍යාගය මෙය වේ.
ඉංග්‍රීසි ආණ්ඩුවේ අධ්‍යාපන අධ්යක්ෂ ඊ. බී. ඩෙන්හැම්ගේ නාමය කරුණු කිහිපයක් නිසා පිරිවෙන් ඉතිහාසයෙහි රන් අකුරින් ලියා තැබිය යුතු බව කළුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමියෝ පවසති. එකී හේතු නම් (1) පිරිවෙන් දීමනාව රු. 2000/= දක්වා වැඩි කිරීම (2) පිරිවෙන්වල ඉංග්‍රීසි ඉගැන්වීමට අනුබල දීම (3) වාර්ෂික ව පිරිවෙන් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂකවරුන් පත් කිරීම (ප්‍රථම පිරිවෙන් පරීක්ෂකවරයා විද්‍යොදය පිරිවෙණෙන් බිහි වූ ඩබ්ලිව්. ඒ. සමරසේකර පඬිතුමා ය.)
ශ්‍රී සුමංගල නාහිමිගේ සේවය විද්යොදයෙන් ඔබ්බට
විද්යොදයෙහි දී
කර්නල් ඕල්කට් සමග සුමංගල නාහිමි
ප්තිය වූ කලි සුමංගල නාහිමියන්ගේ දීප්තිය ම වේ. උන්වහන්සේ ජීවත් වූ යුගයෙහි උන්වහන්සේගේ අවවාද අනුශාසනාවෙන්, අනුග්‍රාහකත්වයෙන්, සහභාගිත්වයෙන්, සම්බන්ධයෙන් තොර ව මෙරට කිසිදු බෞද්ධාගමික ක්‍රියාකාරකමක් නො වූ තරම් ය. මෙරට බෞද්ධ පාඨශාලා පිහිටුවීමෙහි ලා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ හෙන්රි ඕල්කට්තුමා 1880 දී මෙරටට පැමිණියේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තිත ‘පානදුරා වාදය’ ඇමරිකාවේ දී කියවන්ට ලැබීමෙනි. එසේ පැමිණි ඔහු සුමංගල නාහිමියන් මුණ ගැසුණේ පරමවිඥානාර්ථවාදියකු හැටියට ය. උන්වහන්සේගෙන් ධර්මය අසා නික්ම ගියේ බෞද්ධ මහෝපාසකයකු හැටියට ය. ඔහුට කොළඹ ආනන්ද විද්‍යාලය බිහි කරන්ට අනුබල දුන්නාහු සුමංගල නාහිමියෝ ය. ආනන්ද විද්‍යාලයට ආධාර කරන ලෙස සුමංගල නාහිමියෝත් මිගෙට්ටුවත්තේ නාහිමියෝත් බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියහ.

එවක ලංකාවේ තිබුණේ බෞද්ධ පාසල් 04කි. දොඩන්දූවේ සිරි පියරතනතිස්ස (1826-1907) නාහිමියන්ගේ මූලිකත්වයෙන් දොඩන්දූවේ දෙහිගල්ලේ දී 1869 දී ලෝකාර්ථසාධක සංගමය ඇරඹූ පාසල, ප්‍රථම බෞද්ධ පාසල ලෙස සැලකෙන අතර එම සංගමය විසින් ම 1870 ජිනලබ්ධිවිශෝධක හා යශෝධරා නම් පාසල් 02ක් ද දොඩන්දූවේ පිහිටුවන ලදි. පාසල් හතරෙහි ම සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 246කි. ක්‍රිස්තියානි පාසල් 905ක් තිබුණු අතර ඒවායෙහි ශිෂ්‍යයෝ 78086ක් සිටියහ. ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාරබ්ධ බෞද්ධ පාඨශාලා ප්රබෝධය හේතු කොට ගෙන 1900 වන විට දිවයින පුරා තිබුණු බෞද්ධ පාසල් සංඛ්‍යාව 150ක් විය.

අනගාරික ධර්මපාලතුමා සිය ගුරුදේවයන් ලෙස සැලකුවේ සුමංගල නාහිමියන්ට ය. ලංකාවට පත් වී ආ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් බුද්ධාගම හෝ බෞද්ධයන් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැඟුණි නම් මුලින් ම කරුණු විමසූයේ සුමංගල නාහිමියන්ගෙනි. ඉංග්‍රීසි පඬිවරුන් සිය ලිපි ලේඛනවල උන්වහන්සේ හඳුන්වා තිබුණේ High Priest of Ceylon කියා ය. ජර්මන් ජාතික පෝල් ඩාල්කේ ගැඹුරු ධර්ම කාරණා දැන ගැනීමට සුමංගල නාහිමියන් සොයා ගෙන ලංකාවට ආවේ ය. මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු ද අමරපුර – රාමඤ්ඤ දෙනිකායේ මහානායක හිමිවරු ද රත්මලානේ ශ්‍රී ධර්මාරාම, වැලිගම ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති වැනි සංඝ පිතෘවරු ද සුමංගල නාහිමියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉහළින් ම පිළිගත්හ.
සුමංගල සමයෙහි මෙරට සංසරණය වූ සියලු බෞද්ධ පොත් තිබුණේ පුස්කොළවල ය. ඒවා ශුද්ධ කොට සන්න, ව්‍යාඛ්‍යාන, ගැටපද ලියා පොත් වශයෙන් මුද්‍රණය කිරීම එවක ධර්ම ශාස්ත්‍රීය දියුණුව පතන්නකුගේ යුග මෙහෙවර විය. සුමංගල නාහිමියෝ මෙකී යුග මෙහෙවරෙහි පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළාහු බාලාවතාර ටීකාව, සිදත් සඟරා සන්නය, සීමා විභාගය, සත්‍ය සංග්‍රහය, කව්සේකර සන්නය, සන්ධි සංග්‍රහය, ආඛ්‍යාන ව්‍යාඛ්‍යාව, වර්ණ රීතිය, බ්‍රහ්ම ධර්මය (පරිවර්තනයකි), මාසර්තු ලක්ෂණය

(ජ්‍යොතිෂ හා ධර්ම විනය කාරණා අඩංගු ග්රන්ථයකි) යන කෘති ද බටුවන්තුඩාවේ පඬිතුමා සමඟ පාලි මහාවංශයෙහි සිංහල පරිවර්තනයක් ද ලියා පළ කළහ.
සුමංගල නාහිමියෝ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමෙහි ප්‍රථම අනුශාසකවරයා වූහ. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙහි ද රාජකීය ආසියාතික සමිතියෙහි ද සාමාජිකයෙක් වූහ. ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ද කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ද වූහ. ප්‍රථම වරට ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය උපාධි නාමයෙන් පිදුම් ලදහ. 1865 දී උද්ගත වූ ප්‍රථම බෞද්ධ ක්‍රිස්තියානි වාදය, එනම් ‘බද්දේගම වාදයෙහි’ පටන් දෙපිලක් බෙදී කරන ආගමික හා ශාස්ත්‍රීය වාද විවාද රාශියක් 19 වැනි සියවස අග භාගයේ දී මෙරට පැන නැඟිණ. මේ අතරින් වාද කිහිපයකට සුමංගල නාහිමියෝ ඍජු ව සම්බන්ධ වූහ. නුවර මූලස්ථාන දෙකේ පෝය කරගෙන ආ පිළිවෙළට වෙනස් පිළිවෙළක් බෙන්තර සංඝයාවහන්සේ අනුගමනය කිරීමට විරුද්ධ වූ සුමංගල නාහිමියන් ලිවීම නිසා හටගත් ‘අධිමාසවාදය’, භික්ෂූන්වහන්සේ අනුගමනය කළ යුත්තේ ඒකාංශ පාරුපනය හෙවත් ඒකාංශ සිවුරු පෙරවීම නො ව උභයාංශ පාරුපනය ය (දෙ වුර පෙරවීම) යන මතය සුමංගල නාහිමියන් දැක්වීම නිසා හටගත් ‘පාරුපන වාදය’ එබඳු වාදද්වයකි. මිගෙට්ටුවත්තේ හිමියන්ගේ නායකත්වයෙන් පැවැත්වුණු පානදුරා වාදයේ දී උන්වහන්සේගේ උපදේශකයකු ලෙස සුමංගල නාහිමියෝ ක්‍රියා කළහ. බුද්ධ වර්ෂ වාදය, න ණ ල ළ වාදය ආදි තවත් බොහෝ වාදවලට කරුණු සපයා ගැනීම සඳහා තත්කාලීන උගත්හු ප්‍රසිද්ධියේ ද අප්රසිද්ධියේ ද උන්වහන්සේ කරා පැමිණියහ.
38 වසරක පිරිවෙන් සේවය නිමවා, 83 වසරක් ආයු වළඳා සුමංගල නාහිමියෝ 1911 අප්‍රේල් 29 වැනි දා අපවත් වී වදාළහ.
දහසකට අධික භික්ෂු සංඝයාගේ ද දස දහසකට අධික මහජනතාවගේ ද සහභාගිත්වයෙන් කොළඹ දී අවමංගල්‍ය පූජෝත්සවය පවත්වන ලදි. වැලිවිටියේ සෝරත නාහිමියන් පවසන පරිදි එදා චිතකයේ දැවී ගියේ, අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගෙන් පසු ව පහළ වූ පාලි භාෂා විශාරදවරයා ය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගෙන් පසු ව පහළ වූ සිංහල භාෂා විශාරදවරයා ය. ශ්‍රී ශාරිපුත්‍ර සංඝරාජයන්ගෙන් පසු ව ලක්දිව පහළ වූ සංස්කෘත භාෂා විශාරදවරයා ය. ‘භෞතික විශ්වයෙහි පහළ වූ ප්රත්යක්ෂ වෘහස්පති’ හෙවත් මිහිබට සුරගුරු ය.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සම්පාදිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තාන්තය (රූපමය අතීතාවලෝකනය) කෘතියෙන් උපුටාගත් ලිපියක් ඇසුරෙනි.